මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි

    January, 21, 2019

    බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් අද (21)  දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ලොව මූර්ත පොළී අනුපාතිකය වැඩිම රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ප්‍රකාශ කරයි.

    මෙහිදී 6.2% ක් ලෙසින් ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සටහන්ව ඇති අතර පිළිවෙලින් ඊජිප්තුව (4.8%), පකිස්තානය (4.3%), ඉන්දියාව (4.3%) හා තුර්කිය (3.7%) සෙසු ස්ථාන 4 හි පසුවේ.

    මූල්‍ය පොළියට උද්ධමන අනුපාතිකය ගැළපූ විට මූර්ත පොළිය ලැබේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

    “මූර්ත පොළී අනුපාතිකය වැඩිවීම හරහා රටේ ආර්ථිකයේ ස්ථාවරභාවයේ අඩු වීමක් පෙන්නුම් කරනවා. මූර්ත පොළී අනුපාතය වැඩිවුණාම වෙන්නේ, විනිමය අනුපාතය අතිප්‍රමාණය වීමක් දීර්ඝ කාලයේ දී වෙන්න පුළුවන්. අපි අපනයනය කරන ද්‍රව්‍ය විදේශ වෙලෙඳපොළේ දී තරඟකාරීත්වයෙන් අඩුවෙනවා. ඒ වගේම ආනයනය කරන ද්‍රව්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීමක් වෙනවා.“

    “ඒ වගේම මූර්ත පොළී අනුපාතය ඉහළ යන කොට රට ඇතුළේ මිනිස්සු වියදම් කිරීමට පෙළෙඹීම අඩු වෙනවා. වියදම් නොකර, වැඩිපුර ඉතුරු කරන්න උත්සාහ ගන්නවා. එවිට භාණ්ඩ හා සේවාවලට තිබෙන ඉල්ලුම අඩුවෙනවා. මේ නිසා මූර්ත පොළී අනුපාතිකය වැඩිවෙන කොට ආර්ථිකයේ නිෂ්පාදන වේගය අඩුවීමක් වෙන්න පුළුවන්. එය සේවා නියුක්තිය පහළ යාමට සෘජුව බලපානවා.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය කරුණාරත්න මහතා කියා සිටියේ, දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

    “අපි මෑත කාලයේ දී දැක්ක දෙයක් තමයි දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම. මේ හේතුව නිසා මේ රටවල් අවප්‍රමාණය වළක්වා ගන්න, පොළී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. මෙය දීර්ඝ කාලයේ දී කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙහිදී රජයේ වියදම් වැඩිවී, ආර්ථිකයේ අවධමනකාරී ස්වරූපයක් ඇතිවෙලා භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු වීමක් සිදුවෙනවා.“

    “පොළිය වැඩි නිසා මිනිස්සු වියදම් නොකර සල්ලි ඉතුරු කරනවා. බැංකුවල සල්ලි තැන්පත් කරන්න ගන්නවා.  නමුත් ආයෝජකයින් පොළිය වැඩි නිසා ණය ගන්නේ නැහැ. එහෙම වෙනකොට ව්‍යාපාර ආයතන පුළුල් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා දීර්ඝ කාලයේ දී මේ තත්ත්වය තියාගෙන යන්න බැහැ.“

    “ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව දීර්ඝ කාලයේ දී පොළී අනුපාතික අඩු විය යුතුයි. එවිට ආයෝජනය වැඩිවෙලා පාරිභෝජනය අඩු වෙනවා.“