මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට මොකද වෙන්නෙ ?

    July, 18, 2014

    මහ බැංකුව විසින් දියත් කර තිබෙන මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ බොහෝ කොටසක් මේ වසරේදී අවසන් කළ හැකි බවත් එය ලබන වසරේ මුල් කාර්තුව තුළදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙත සඳහන් කළේ මේ යටතේ ගනුදෙනු 15 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරියේදී සිදුවිය හැකි බවත් ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිට සිදුවෙමින් තිබෙන බවයි.

    “ඒවා සම්පූර්ණ වෙනකං අපිට ඒ ගැන කතා කරන්න අමාරුයි.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

    මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ මෙම වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 870 කට මිලදී ගැනීමට මේ වනවිට එකඟත්වය පළකර ඇත.
    ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම වාහන අලෙවියේ ප්‍රචලිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහයට අනුබද්ධ සමාගමකි.