මූල්‍ය නගර ව්‍යාපෘතියේ වත්මන් විෂය පථය සමාලෝචනයට තීරණයක්

    December, 12, 2019

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන ආයෝජක CHEC පෝට් සිටි කොළඹ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පෞද්ගලික අංශයේ ආයෝජනයක් වශයෙන් ‘කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය‘ 2014 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.

    2015.01.08 දිනෙන් පසුව එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය වෙනස් කරමින් ‘මූල්‍ය නගර ව්‍යාපෘතිය‘ වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    මේ වන විට බාහිර උපදේශකයින්ගේ සහාය සහ නීති කෙටුම්පත් සම්පාදකගේ මෙහෙයවීම මත ‘කොළඹ මූල්‍ය නගරය‘ නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර තිබේ.

    වර්තමාන දේශපාලන, සාමාජයීය සහ පාරිසරික සන්දර්භය තුළ එම ව්‍යාපෘතියේ සංශෝධිත විෂය පථය සහ එම විෂය පථය සංශෝධනය කිරීම පිණිස අනුගමනය කරන ලද ක්‍රියාදාමය සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති අතර, ඒ සඳහා අදාළ විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.