September, 4, 2019
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2019 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය,සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුම් වලට එළැඹිණි.
සහාධිපත්‍ය සංවර්ධකයින් සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලත් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් සම්බන්ධයෙන් ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ / ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නීතිමය බැඳීම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා තොරතුරු සැපයීම මෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් අපේක්ෂා කරන සහයෝගය නිර්ණය කිරීම මෙහි පරමාර්ථය විය.
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සමඟ වූ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩී.එම්. රූපසිංහ මහතා සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි සභාපති සී.ඒ. විජේවීර මහතා විසින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ අත්සන් තබන ලදී.
තවද , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ වූ අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මණ්ඩල සාමාජික කේ.ඩී. චිත්‍රපාල මහතා සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දුලිප් සොමිරත්න මහතා සහභාගී විය.
දේශීය මෙන්ම ගෝලීය ආර්ථික හා මූල්‍ය පද්ධතිවලට තර්ජනයක් වන මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ මැඩපැවත්වීමෙහිලා මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ප්‍රකාරව සහාධිපත්‍ය සංවර්ධකයින් ඇතුළුව නිශ්චල දේපළ වෙළෙඳාමේ නිරතවන්නන් සහ බලපත්‍රලත් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් රටේ පවතින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නීති රාමුවට අනුකූල වීම අනිවාර්ය වේ.


Video Story