මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම වක්‍රාකාරයෙන් සිදුවෙනවා – මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි

    August, 6, 2018

    2014 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන ප්‍රතිපත්තියක් ලෙසින් වෙනස් කරන්නට සිදුවුවත් එය මේ වන විට වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහ බැංකු නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා මෙසේ කියා සිටියේය.

    “මහ බැංකුව 2014 වසරේ දී ආරම්භ කළා මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක්. ඒ අවස්ථාවේ දී රටේ පැවති බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බව මහ බැංකුව තීරණය කළා. ඒ වෙන කොට මුල්‍ය ආයතන 59 ක් තිබුණා.“

    “ඒ මූල්‍ය ආයතන අතර විශාල වෙනස්වීම් තිබුණා. සමහරක් ඒවා විශාලයි, ශක්තිමත්. සමහරක් ඒවා කුඩා ශක්තිමත් නොවන මූල්‍ය ආයතන. මේ ශක්තිමත් නොවන කුඩා මූල්‍ය ආයතනවලින් ආර්ථිකයට බලාපොරොත්තු වන කාර්යභාරයක් ඉටුනොවන නිසා ඒ මුල්‍ය ආයතන විශාල මූල්‍ය ආයතන සමඟ ඒකාබද්ධ කරලා ඊට වඩා වැඩි සේවයක් ආර්ථිකයට ලබා දෙන්න මහ බැංකුව තීරණය කළා. ඒක තමයි 2014 වැඩසටහනේ පරමාර්ථය වුණේ. ඒකේදී අපි බලාපොරොත්තු වුණා 59 ක් වුණු මූල්‍ය ආයතන ප්‍රමාණය 20 ක් දක්වා අඩු කරන්න. වසර 1 ½ ක් වගේ කාලයක දී ඒ වැඩසටහන අවසන් කිරීම තමයි ඒ අවස්ථාවේ මූලික ඉලක්කය වුණේ.“

    “නමුත් ඒ වැඩසටහන ප්‍රතිපත්තියක් විදියට පසුව වෙනස් කරන්න වුණා. කුඩා මූල්‍ය ආයතනවලින් විරෝධතාවයක් තිබුණා, මෙය බලහත්කාරයෙන් කරන වැඩසටහනක් බවට. පසුව ප්‍රතිපත්තිය වෙනස් වුණත්, මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක වෙනවා. එය සෘජු ක්‍රමයකින් තොරව වක්‍රාකාරයෙන් සිදුවෙනවා.“

    “අපිට ඕනේ ශක්තිමත් මූල්‍ය ආයතන ආර්ථිකය තුළ ඇතිකරන්න. ඒ සඳහා ප්‍රධානම කාරණය තමයි, ඒවායේ ප්‍රාග්ධනය වැඩිකරන්න ඕනේ. ඒ නිසා මූල්‍ය ආයතනවල ප්‍රාග්ධනය, අවුරුදු පතා වැඩි කරන ක්‍රමයක් අපි හැදුවා. උදාහරණයක් ලෙස 2018 වසරේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් බිලියනයක් තිබෙන්න ඕනේ මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යන්න නම්. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩිකරලා 2021 වන විට රුපියල් බිලියන 2 ½ දක්වා වැඩිකරනවා.“

    “මේ ප්‍රමාණයෙන් ප්‍රාග්ධනය වැඩි කරගන්න අමාරු ආයතන තියෙනවා නම්, ඒ ආයතනවලට විකල්ප දෙකක් තියෙනවා. හොඳම දේ තමයි තවත් ආයතනයක් සමඟ එකතු වෙලා ශක්තිමත් වීම. එහෙම නැත්නම් ඒ ආයතනයේ කටයුතු නවත්වන්න සිදුවෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එම මූල්‍ය ආයතනවල කටයුතු නවත්වා දමනවාට වඩා, තවත් ආයතන සමඟ එකතුවෙලා ශක්තිමත් මූල්‍ය ආයතන ප්‍රමාණයක් හැදෙයි කියලා.“

    “මූලික අරමුණ මූල්‍ය අංශයේ ස්ථායීතාවය. ඒක තමයි මහ බැංකුවේ ප්‍රධාන වගකීම. ඒ ප්‍රතිපත්තිය දිගටම යනවා.“