අපනයන ආදායම ඉහළට

    May, 2, 2024

    වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වා සියයට 9.8කින් ඉහළ ගියේය.

    සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් දක්නට ලැබුණු අතර ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයනවල සිදුවිය.

    2024 වසරේ මාර්තු මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයන් හි (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ නැව් සහ ගුවන් යානා ඉන්ධන අපනයන පරිමා ඉහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම වූ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය.

    කුළුබඩු අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් තිබියදීත්, මූලිකව තේ අපනයන (පුධාන වශයෙන් ඉහළ පරිමාවන්) සහ පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයන ආදායම ද ඉහළ ගියේය. 2024 වසරේ මාර්තු මාසයේ දී ඛනිජමය අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගියේය.

    මේ අතර, 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම ආදායම වාර්තා කරමින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන වර්ධනය වීම බොහෝදුරට හේතුවිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවෙ හි මේ බව සඳහන් වන අතර, 2022 වසරේ අගෝස්තු මාසයේ සිට වාර්තා වූ ඉහළම ඉපැයීම් වාර්තා කරමින් අපනයන ඉපැයීම්වල සිදුවූ කැපී පෙනෙන වර්ධනය වෙළෙඳ හිඟය 2024 වසරේ මාර්තු මාසයේ දී (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) පහළ යෑම සඳහා උපකාරී වූ බව මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනුව 2024 මාර්තු මාසයේ වාර්තා වී ඇති වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මාස 18කට පසු වාර්තා කරන ලද වැඩිම අපනයන ආදායම වේ.