මෙන්න! කොමර්ෂල් බැංකුව ලාභ ලැබූ හැටි

    May, 22, 2015

    2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත.

    මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙන්නේ ශුද්ධ පොලී ආදායම ගිය වසරට සාපේක්ෂව 10.06% කින් වර්ධනය වී තිබෙන බවයි.

    විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය 7.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.204 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය 8.77% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 3.579 ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව සඳහන් කරයි. ශුද්ධ පොලී ආදායම, කොමිස් ආදායම, විදේශ විනිමය ආදායම්, ණය නැවත අයකර ගැනීම් සහ අනිකුත් ආදායම් වලින් සමන්විත සමස්ත මෙහෙයුම් ආදායම මෙම කාර්තුව තුළදී 8.84% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.682 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    බැංකුව සඳහන් කරන්නේ 2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සමස්ත ණය සහ අයවිය යුතු මුදල් රුපියල් බිලියන 498.552 ක් දක්වා පසුගිය මාස 12 ක කාලය තුළදී 19.13% කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බැංකුවේ සමස්ත තැන්පතු 2014 දෙසැම්බර් 31 වනදා සිට මාසයකට රුපියල් බිලියන 06 කට වැඩි සාමාන්‍යයකින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන කාර්තුව අවසන් වනවිට සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 549.111 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව, පසුගිය මාස 12 ක කාලයට සාපේක්ෂව තැන්පතු වර්ධනය 16.28 ක්වී ඇත.

    විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 800 සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 807.852 ක් දක්වා වර්ධනය වී තිබේ.

    පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී 7x82% කින් වැඩිවී රුපියල් බිලියන 4.148 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අනිකුත් ප‍්‍රධාන දර්ශක සැලකීමේදී බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් 3.40% ක් සහ 1.88% ක් දක්වා පසුගිය වසරේදී තිබූ 4.40% ක සහ 2.54% ඉහළ මට්ටමේ සිට අඩු වී ඇත.