මෙන්න! මහ බැංකුවේ නවතම පොලී තීරණය

    April, 22, 2014

    වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස මේ අප්‍රේල් මාසයේදීත් නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.

    මහ බැංකුව පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් රාජ්‍ය අංශය ලබාගන්නා ණය ප්‍රමාණය අඩුවෙමින් තිබීම නිසා පුද්ගලික අංශයට වැඩිපුර ණය ලබාගැනීමේ අවස්ථාවක් මේ වනවිට නිර්මාණය වී තිබෙන බවයි.

    මේ වනවිට, සැලකිය යුතු මට්ටමක් දක්වා පොලී අනුපාත අඩුකර තිබෙන නිසා යම් කාලයක් යනතුරු පොලී අනුපාත අඩුකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා සඳහන් කළේය.

    මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වලට සාපේක්ෂව වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වන අතර මහ බැංකු පොලී අනුපාතය අඩුවන විට වාණිජ බැංකුවල පොලී අනුපාතය අඩුවීමත් මහ බැංකු පොලී අනුපාතය වැඩිවන විට වාණිජ බැංකුවල පොලී අනුපාතය වැඩිවීමත් සිදුවේ.

    නමුත්, පසුගිය කාලයේදී මහ බැංකුව විසින් පොලී අනුපාත අඩුකළත් එයට සාපේක්ෂව වාණිජ බැංකු විසින් පොලී අනුපාත පහළ නොදැමූ බවට විවේචන එල්ලවී තිබුණි.

    කෙසේවෙතත්, මෙයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අවස්ථාවක අප සමග පැවසුවේ වාණිජ බැංකු විසින් පොලී අනුපාත අඩුකර තිබෙන මට්ටම පිළිබඳව තමා සතුටු වන බවයි.