මෙය දේපළ සඳහා ආයෝජනය කිරීමට සුදුසු කාලයක්ද?

    November, 13, 2020

    ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි

    කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ.

    ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත නොහැකි තත්ත්වයක් මතුවී ඇත. එම නිසා, කෙනෙකුට ඊළඟට ඇති හොඳම විසඳුම වන්නේ දේපළ සඳහා ආයෝජනය කිරීම ය. දේපළ ආයෝජනයේ යම් අවදානමක් ඇති නමුත්, නිසි අවබෝධයෙන් යුතුව ආයෝජනය කරන්නේ නම් එම අවදානම් පහසුවෙන් මගහරවාගත හැක.

    කොළඹ යනු විශාල රථවාහන තදබදයක් ඇති නගරයකි. විශාල පිරිසක් කොළඹින් බැහැර සිට මෙසේ රථවාහන තදබදය ඇතුළු නොයෙක් දුෂ්කරතා විඳගෙන කොළඹ නගරයට පැමිණෙන්නේ ඇයි? කොළඹ නගරය යනු රටේ වාණිජ මධ්‍යස්ථානයයි. සියලු පහසුකම් මෙන්ම, ඉහළ වැටුප් සහිත රැකියාවන් ඇත්තේ එහි ය. මේ තත්ත්වය තවත් දශක ගණනාවක් යනතුරු වෙනස් නොවනු ඇත. කෙසේ වුවද විවිධ සාධක රාශියක් නිසා බොහෝ දෙනෙකුට තවත් කොළඹ නගරයේ දේපළ සඳහා ආයෝජනය කිරීම දුෂ්කර ය. ඒ නිසා ඔවුන්ට රථවාහන තදබදය ඇතුළු බොහෝ පීඩා විඳිමින් දිනපතා කොළඹ නගරයට පැමිණීමට සිදුවේ.

    කවර තත්ත්වයක් හමුවේ වුවද කොළඹ නගරයේ දේපළ මිල අඛණ්ඩව ඉහළ යාම වළකිනු ඇතැයි සිතිය නොහැක. එම නිසා මේ මොහොතේ කරන ආයෝජනයක් වෙතොත් නොවැරදීම එය අනාගතයේදී ලාභ ගෙනෙනු ඇත.

    මෙවැනි පසුබිමක් තුළ, ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට නිවාස ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම අතිශයින් වැදගත් ය. එම නිසාම, ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම යුනියන් පෙදෙසෙහි ඉදි කරන අතිනවීන පහසුකම් සහිත TRI-ZEN නිවාස ව්‍යාපෘතිය සඳහා කලක පටන් නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමා තිබේ. මේ අතරින් මෑතකදී හඳුන්වා දෙන ලද Freedom Mortgage විසඳුම සැලසුම් කර ඇත්තේද නිවාස ගැනුම්කරුවන්ට මෙන්ම ආයෝජකයන්ටද සහන රැසක් ලැබෙන පරිද්දෙනි.

    Freedom Mortgage මගින් ගැනුම්කරුවන්ට වසර දෙකක් දක්වා පොලී රහිත කාලසීමාවක් හිමිවේ. ගනුදෙනුකරු මූලික ගෙවීම ලෙස ලබාදිය යුත්තේ 20% ක් පමණක් වන අතර ඉතිරි 80% ම බැංකුව විසින් දරනු ලබයි. මුල් ගෙවීමෙන් පසු තවත් වසර 2 ක් ගතවනතුරු ගනුදෙනුකරු කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත. වසර 2 කට පසු පොලී ගෙවීම ආරම්භ වන අතර, වසර 3 කට පසු ප්‍රාග්ධන මුදල ගෙවීම ආරම්භ වේ. කොමර්ෂල් බැංකුව ලබාදෙන මෙම පහසුකම සඳහා වසර 5 ක් දක්වා පොලිය 8,75% ක් ලෙස ස්ථාවරව පවතින අතර, වසර 10 ක් සඳහා එය 9% කි. මෙම කාලය තුළ අවශ්‍ය නම් නිවාසය අලෙවි කර එහි මුළු වටිනාකම ලබාගැනීමට වුවද හැකියාව ඇත.

    COVID-19 වසංගතය හමුවේ පහළ යන ඉල්ලුම ආපසු ඉහළ යාමට වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙවැනි පසුබිමක් හමුවේ එළඹෙන වාසිදායක අවස්ථාවන් ගැන විමසිල්ලෙන් පසුවීම වැදගත් ය. ස්ථාවර තැන්පතු සඳහා පොලිය පහළ ගොස් තිබීමට අමතරව, නිවාස ණය යෝජනා ක්‍රම සම්බන්ධ පොලී අනුපාතයන්ද පහළ ගොස් තිබේ. ණය දීම සඳහා බැංකු උනන්දුවෙන් පසුවන නිසා ගනුදෙනුකරුවන්ට විශේෂ වාසි අත්වීමට ඉඩ ඇත.

    කොළඹ නගරයෙන් දේපළක් තෝරාගැනීමේදී නගර මධ්‍යයෙන් (කොළඹ 1 හෝ 2) තෝරාගැනීම පහසුව අතින් මෙන්ම, කුලියට දීමේ හැකියාව අතින්ද බෙහෙවින් තීරණාත්මක වේ. එමෙන්ම මෙහිදී පිළිගත් දේපළ සංවර්ධන සමාගමක් වෙතින් නිවාස තෝරාගැනීමද වැදගත් ය. ඊට අමතරව, තම ආදායම හා ජීවන රටාවට ගැළපෙන නිවාසයක් තෝරාගැනීමද වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    අවසන් වශයෙන් කිව හැක්කේ, කෙනෙකු නිවැරදි ස්ථානයකින් දේපළක් තෝරාගෙන, නැණවත් මධ්‍යම කාලීන ආයෝජනයක් සිදුකර, මෙම දුෂ්කර අවස්ථාව ඉවසිල්ලෙන් පසුකිරීමට සූදානම් නම්, ඔහුට හෝ ඇයට නිසැක ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි.