මෙරට ආර්ථික අර්බුදය සුවපත් කරවන ඇඟළුම් ක්ෂේත්‍රයේ ගැලවුම්කාර භූමිකාව – ඒකාබද්ධ ඇඟළුම් සංසදය

    July, 8, 2022

    ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලිසිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාලසීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථනයන් කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථරයන් මුහුණ දී සිටිනවා යන්න සාවද්‍ය කරුණක් නොවේ. මේ මහා අවුල් ජාලය තුළ එක් කරුණක් හොඳටම පැහැදිලිය. එනම් අර්ථික අර්බුදය ජය ගත හොත් වත්මන් සමාජ දේශපාලන අර්බුදයන් ද සමනය කර ගත හැකි බවයි.

    සරළව පැහැදිලි කළහොත් ආර්ථිකයේ දැතිරෝද නොනවත්වා ධාවනය විය යුතු අතර විදේශ විනිමය උපරිම අයුරින් ඉපැයීමට රට තුළ ඇති සම්පත් ඵලදායීව කළමණාකරනය කර ගත යුතුව ඇත. පවතින අභියෝගාත්මක තත්වය තුළ විදේශ විනිමය ඉපැයුම් ක්ෂේත්‍රයේ වඩාත් සක්‍රීයම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රය විසින් ලබා දෙනවා යන්න පැවසීම අසත්‍යක් නොවේ. විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් , ආනයන සීමා, සේවක ගැටලු , ආදී දහසක් බාධක මධ්‍යයේ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය වඩාත් ජාතිමාමක කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

    වැවිලි කෘෂි ක්ෂේත්‍රයේ යෙදවුම් වල බරපතල හිඟයක් පැවතීමත්, රටේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී ඇති තත්වයක් තුළ සහ විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රමාණවත් ලෙස බැංකු පද්ධතියට එක් නොවන තත්වයක් තුළ මේ අවස්ථාවේදී වැඩි වශයෙන් කාර්මික අපනයන ක්ෂේත්‍රය වෙත බර තැබිය හැකි අතර එම ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම අපනයනය වන ඇඟළුම් ක්ෂේත්‍රයට රටේ ආර්ථිකය සඳහා සුවිශේෂී දායකත්වයක් දැනටමත් ලබා දෙමින් සිටී.

    ඇඟළුම් ක්ෂේතුයේ ආර්ථික දායක

    වර්තමානය වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් ඇඟළුම් ක්ෂේත්‍රයෙන් හිමිවන අතර සමස්ත අපනයන වටිනාකමෙන් 40%ක් නියෝජනය කරන්නේත් ඇඟළුම් ක්ෂේත්‍රයයි. 2018 වසරෙන් අනතුරුව අප මුහුන දුන් පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය සහ දැනට මුහුණ දෙමින් සිටින ආර්ථික සමාජ අර්බුදය හමුවේ වූවද මෙරට ඇඟළුම් කර්මාන්තය සිය දායකත්වය මෙරට ආර්ථිකය වෙනුවෙන් නොමසුරුව ලබා දී ඇත. කෝවිඩ් හමුවේ රට කිහිප වරක්ම වසා දැමූ තත්වයක දී පවා 2021 වසරේදී පෙර වසරට සාපේක්ෂව 22% අපනයන වර්ධනයක් සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 5.42ක අපනයන ආදායමක් හිමිකර ගැනීමට ඇඟළුම් ක්ෂේත්‍රය සමත් වීම එම කර්මාන්තයෙහි විශේෂ ප්‍රාගුණ්‍ය , ඵලදායීතාව යන සාධකයන් මනාව පෙන්වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

    එමෙන්ම පසුගිය වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලාංකාව මුහුණ දෙමින් සිටින තත්වය හමුවේ වූවද 2022 වසරේ මැයි මාසය වන විට පෙර වසරට සාපේක්ෂව 16%ක වර්ධනයක් සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.26ක් ඉපැයීමට ඇඟළුම් ක්ෂේතුයට හැකිව තිබුණි. මෙම තත්වය නිසැක වශයෙන්ම ඉදිරි මාස 6ක කාලය තුළ පවත්වාගෙන යමින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක අපනයන ආදායමක් ඉපැයීමට සමත් වෙතැයි පුරෝකථනය කළ හැක. මෙරට ශ්‍රම බලකායෙන් ලක්ෂ 3.5ක් ඇඟළුම් කර්මාන්තය හා එක්ව සිටින අතර වෙනත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව සේවකයින්ගේ රැකියා සුරක්ෂිතබව තහවුරු කිරීමට ඇඟළුම් ක්ෂේත්‍රයට හැකිව තිබෙන්නේ එම ක්ෂේත්‍රය මෙරට ප්‍රමුඛතම විදේශ විනිමය ඉපැයීම් මාර්ගය වන බැවිනි.  රටක් ලෙස මේ අවස්ථාව අප සියලු දෙනාටම අසීරු බවට සැකයක් නැත. එහෙත් මින් ගැලවීමේ මාර්ගයද ඇත්තේ අප සතුවයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සඳහා ඩොලර් මූලික ප්‍රශ්නය නම් ඩොලර් යලි ඉපැයීම අපට ඇති එකම විසඳුමයි. ඒ සඳහා විශාල දායකත්වයක් ඇළුම් ක්ෂේත්‍රය දැනටමත් ලබා දෙමින් සිටින අතර රජය පාර්ෂවයෙන් ලබා දිය හැකි යටිතල පහසුකම් සම්පාදය ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම ක්ෂේත්‍රයට ලබා දිය යුතුව ඇත.

    කැල්සඩෝනියා (Omega Line Group ) ආදර්ශය සහ ආයෝජක විශ්වාසය

    විදේශ විනිමය ඉපැයීමේ සංග්‍රාමය ජයගැනීමට නම් විදේශ විනිමය උපයන කර්මාන්තයන්ට ප්‍රමුඛතාවය දෙන රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දීම මෙන්ම නව ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගැනීම ද එක ලෙස වැදගත්ය. විශාල දේහපාලන සමාජ ආර්ථික අර්බුදය හමුවේ කරවටක් ගිලි , ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇති රටකට ආයෝජකයින් පැමිණෙද ? යන ගැටළුව අපට ඇති වීම ස්වභාවිකය. එහෙත් අප මුහුණ දී සිටින තත්වය තුළ පවා පවතින වඩාත් සාධනීය තත්වයන් රටේ ආර්ථික ප්‍රගමනයට යොදා ගැනීම දැක ගත හැක. විශේෂයෙන්ම යුද්ධය පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ ඉතාලියේ කැල්සඩෝනියා සමාගමේ සභාපති සැන්ඩ්‍රෝ වෙ‌රොනෙසි මහතා Omega Line Group ලෙසින් ශ්‍රී ලාංකාවේ සිදු කළ තම ආයෝජනය තුළින් කැල්සඩෝනියා නාමය ලොව රටවල් 54ක ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ 5100ක අලෙවි කිරීම දක්වා වර්ධනය වූ බව පවසයි.

    “ මීට වසර 23කට පෙර ශ්‍රී ලංකාවේ යුද්ධය දරුණු තත්වයක පවතින අවස්ථාවකදී තමයි අපි ශ්‍රී ලංකාවට පැමිණියේ. සරළව කිවහොත් චීනය, වියට්නාමය, සහ පිලිපීනය වැනි රටවල් පිළිබඳව මුලින්ම සලකා බැලුවත් ඇඟළුම් අපනයනයෙහි විහේෂ ප්‍රාගුණ්‍යය, පුහුණු ශ්‍රමය , නම්‍යශීලි සේවක සමූහයත් යන සාධක ශ්‍රී ලංකාවේ ප්‍රශස්ත මට්ටමින් පැවති බැවින් අපගේ ආයෝජනය සඳහා ලංකාව හැර වෙනත් රටක් අපට තිබුණේ නැහැ. Omega Line Group ලෙසින් සේවකයින් 200කගෙන් ආරම්භ වූ අපගේ ආයෝජනය වී අද වන විට සේවකයින් 13,000ක් තෙක් වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින විශිෂ්ටත්වයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ඇඟළුම් කර්මාන්තය ඉතාම නූතනත්වයෙන් පරිපුන් සහ ආචාරධර්මිකව පවත්වාගෙන යන්නක්.

    විශේෂයෙන්ම ක්ෂේත්‍රයට ආවේණිකව බලපා ඇති ශ්‍රම සුරා කෑම යන ගැටලු ලංකාව තුළ දක්නට නොමැති වන්නේ ඇඟළුම් ක්ෂේත්‍රයේ ආචාරධාර්මික උපමාන අකුරටම පිලිපැදීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දක්වන කැපවීමත්, තරගකාරී රටවල ඇඟළුම් ක්ෂේත්‍ර සේවකයින්ගේ අධයාපන සහ ඥාණමය හැකියාවන්ට වඩා මෙරට සේවකයින්ගේ එම කුසලතාවන් වඩාත් ඉදිරියෙන් සිටීම යන කරුණ බැවි මගේ විශ්වාසයයි” යනුවෙන් කැල්සඩෝනියා සමාගමේ සභාපති සැන්ඩ්‍රෝ වෙ‌රොන්සි මහතා පැවසීය. ආර්ථිකම දුෂ්කරතාවන් පවතින අවස්තාවෙහි පවා කැල්සඩෝනියා සමාගම සිය නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමක පවත්වාගෙන යෑමටත් , නිසි කලට එම ඇනවුම් අදාල ගැණුම්කරු වෙත ලබා දීමට පියවර ගෙන ඇත.

    “ ඉතාලියත් රටක් ලෙස අද ලංකාව මුහුණදෙමින් සිටි තත්වයට මුහුණ දුන්නා. නමුත් විචක්ශණශීලී රාජ්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති, අපනයන ක්ෂේත්‍රය දිරිගැන්වීම සහ කඩිනමින් තීරණ ගැනීම වැනි වෙනස්කම් තුළින් ඉතාලිය පරිවර්තීය යුගයකට ගෙන ඒමට ඉතාලි ජනතාවට හැකි වුනා. ඒ අයුරින්ම ශ්‍රී ලාංකිකයින්ට මේ රට යළි ගොඩනැංවීමට හැකි බව මම ආයෝජකයකු ලෙස තරයේ විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඇඟළුම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව විසින් යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි දිනා සිටින කීර්ති නාමය අනෙක් කිසිදු තරගකාරී රටකට අත්කර ගැනීමට නොහැකි වීම තුළම ඔ්නෑම ආකාරයේ අභියෝගයකට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාව සමත් බව සනාථ වෙනවා. එබැවින් කවර තත්වයක අර්බුදයක් පැවතියත් මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයෙහි කිසිදු පැකිලීමකින් තොරව ආයෝජනය කළ හැකි බව මම අවධාරණයෙන් පවසනවා” .

    ප්‍රමුඛතාවන් හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීම

    වර්තමානයෙහි පවතින අට අනූවක් අර්බුද සමනය කිරීමේ මාර්ගයද ඇත්තේ අප සතුවමය. විහේෂයෙන්ම ආර්ථික අර්බුදය සඳහා ප්‍රමුඛතම සාධකය වී ඇති ඩොලර් උණතාව තුරන් කිරීම සඳහා අපනයන ක්ෂේත්‍ර දිරිගැන්වීම නොපමාව සිදු කළ යුතුය. මේ අතුරින් ප්‍රමුඛතම වන ඇඟළුම් ක්ෂේත්‍රයෙහි ඉලක්කය වන ඩොලර් බිලියන 6ක අපනයන ආදායම් ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජනය, අමුද්‍රව්‍ය ආනයනය සහ සේවක අණපනත් නම්‍යශීල කිරීම සහ රාජ්‍ය අනුමැතියන් කෙටි කාලයක් තුළ ලබා දීමට පියවර ගත යුතුවේ. දෙවැනි කරුණ වනනේ රජයේ සාර්ව ආර්ථික කළමනාකරණයයි. විශේෂයෙන්ම ස්රෛී ඩොලර් බැඳුම්කර සහ බහුපාර්ශවීය ණය ගෙවීමට නොහැකි බව දැන්වීමෙන් ලංකාව මේ වන විට ණය ශ්‍රේණිගත කරණයෙහි ණය පැහැරහැරීමේ රාජ්‍යයක් ලෙස අසාදු ගත ඇති බැවින් මේ තත්වය වෙනස් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 57ක් වූ විදේශ ණය කළඹ ප්‍රති සමාලෝචනයකට නොපමාව යායුතුය.

    මේ සඳහා ප්‍රමාදවී හෝ යම් සාධනීය පියවර කිහිබයක් රජය මේ වන විටත් ගෙන ඇත. විශේෂයෙන්ම ජාත්‍ය්නතර මූල්‍ය අරමුදලෙහි ආවරණය ලබා ගැනීම තුළින් ආයෝජක සහ ණය දෙන ආයතනයන්හි විශ්වාසය දිනා ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම රාජ්‍ය නියාමනයන්හි පවතින දුර්වලතාවන් නොපමාව හඳුනාගනිමින් එම ක්ෂේත්‍රයන් තුළ වෙනස්කම් ඇති කළ යුතුය. නිදසුනක් ලෙස බදු ප්‍රතිපත්තිය පෙන්වා දි හැක. මෙරට වර්තමාන බදු ප්‍රතිපත්තිය ලොව අති සංකීර්ණ බදු ප්‍රතිපත්තියකට ජීවමාන නිදසුනක් සපයයි. බදු ප්‍රතිපත්ති විනිවිද පෙනෙන සහ නිහ්චිත විය යුතුඅතර එම ක්‍රයාවලිය සරළ විය යුතුය. තවද දේශපාලන අස්ථාවරත්වය තුරන් කිරීම සඳහා සාර්වපාක්ෂික රජයක් පිහිටුවීම හෝ මැතිවරණයක් තුළින් ජනතා මතය පිලිබිඹු වීමට ඉඩ සලසා දීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවන අතර ‌රටේ දේශපාලන ස්ථාවරත්වයට සහ ස්වෛරීත්වයට මෙන්ම ජාත්‍යන්තරය තුළ ස්ථාවර රාජ්‍යක් ලෙස පෙනී සිටීම තුළ ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.