මෙරට ටයර් කර්මාන්තය වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළදී සියැට්-කැලණි වෙතින් රුපියල් බිලියන 03 ක ආයෝජනයක්

    January, 11, 2018

    නව ට‍්‍රක් බස් රේඩියල් ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමටත් රේඩියල් සහ යතුරු පැදි ටයර් නිෂ්පාදනය දෙගුණ කරමින් අපනයනය වර්ධනය කිරීමට කටයුතු කරයි

    සිය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටත්, නව නිෂ්පාදන සංවර්ධනය සහ අපනයන වර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක නව ආයෝජනයක් සිදුකරන බව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් අද නිවේදනය කළ අතර මෙයින් ඉන්දු ලංකා ඒකාබද්ධ ව්‍යාපාරය පිළිබඳව ඇති විශ්වාසය තවත් තහවුරු කරන ලදි.

    මෙම ආයෝජනය සමාගමේ අරමුදල් සහ ණයට ගත් මුදල් යොදා ගනිමින් සිදුකරන අතර සමාගම සඳහන් කරන්නේ එමගින් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් නිෂ්පාදනය කිරීම සඳහා කැළණියේ අති නවීන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවයි. මීට අමතරව, මෙම අරමුදල් යොදා ගනිමින් රේඩියල් ටයර් නිපදවීමට මේ වනවිට එම ස්ථානයේම පිහිටි කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටද සමාගම කටයුතු කරනු ඇත.

    මෙම පුළුල් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය නව යන්ත‍්‍ර සූත‍්‍ර මේ වනවිටත් යුරෝපයේ සිට පැමිණෙමින් තිබෙන අතර ඒවා මේ වසරේ ජුනි-ජූලි කාල සීමාවේදී නිෂ්පාදන කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇත. මෙම පුළුල් කිරීමෙන් පසුව සමාගමට වසරකට ට‍්‍රක් බස් රේඩියල් ටයර් 30,000 ක් නිපදවීමට හැකි වන අතර සියැට් කැළණි සමාගම මෝටර් රථ, වෑන් සහ SUV සඳහා නිපදවන රේඩියල් ටයර් සංඛ්‍යාව වසරකට ටයර් 500,000 සිට ටයර් 850,000 ක් දක්වා වැඩිවන බව කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා පැවසීය. මේ වනවිට සමාගම විසින් වසරකට යතුරු පැදි ටයර් 375,000 ක් නිෂ්පාදනය කරන අතර මෙම ආයෝජනය සමගින් යතුරු පැදි ටයර් නිෂ්පාදනය දෙගුණ වන බව ඒ මහතා සඳහන් කළේය.

    මේ ආකාරයෙන් ශ‍්‍රී ලංකාවේ පළමු වරට ට‍්‍රක් බස් රේඩියල්් ටයර් නිෂ්පාදනය කිරීම මගින් ආනයන ආදේශනයක් වන අතර මේ තුළින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ටයර් අංශයේ නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර තාක්ෂණය සහ දැනුමද ශ‍්‍රී ලංකාවට හිමිවේ. මීට අමතරව දේශීය තත්ත්වයන්ට ගැලපෙන ලෙස මෙම ටයර් නිපදවන බව ද සිල්වා මහතා පැවසුවේය.

    ‘මෙම විශාල නව ආයෝජනය සියැට්-කැළණි සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වෙනුවෙන් ගොඩනගා තිබෙන ප‍්‍රධාන සැලසුමේ කොටසක් ලෙස සඳහන් කළ හැකියි. මෙම නව ආයෝජනය තුළින් 2016-17 මූල්‍ය වසරේදී ලබාගත් රුපියල් බිලියන 10.5 ක පිරිවැටුම ඉදිරි අවුරු තුනක කාලය තුළදී වර්ධනය වනු ඇතැයි අපි විශ්වාස කරනවා,’ යනුවෙන් මෙහිදී චානක ද සිල්වා මහතා පැවසීය. සියැට්-කැළණි ඒකාබද්ධව සිදුකරන මෙම ව්‍යාපාරය මගින් මේ දක්වා රුපියල් බිලියන 05 ක මුදලක් ආයෝජනය කර තිබෙන බවද ඔහු අනාවරණය කළේය.

    මෙම අවස්ථාවට සියැට් ඉන්ඩියා ලිමිටඞ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, අනන්ත් ගොඑන්කා මහතා, සියැට්-කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්භීරේ මහතා සහ මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් එක්විය. පවතින ඉන්දීය-ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ප‍්‍රතිලාභ ලබන ඉතාමත් සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙම සමාගම සැළකේ.

    ‘ශ‍්‍රී ලංකාවේ අපගේ ඒකාබද්ධ ව්‍යාපාරයේ කටයුතු සාර්ථකවීම පිළිබඳව සියැට් ඉන්ඩියා සමාගම සතුටු වෙනවා. මෙම ඒකාබද්ධ ව්‍යාපාරයට මේ වනවිට වසර 20 ක් වෙනවා,’ යනුවෙන් මෙහිදී ගොඑන්කා මහතා පැවසීය. ‘අපි මේ වනවිට ඉලක්ක කර තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ නිපදවන පුළුල් පරාසයක ටයර් කාර්ය සාධනයේ ඊළඟ අදියර වෙත රැගෙන යෑමටයි. එයින් අප බලාපොරොත්තු වෙන්නේ වඩාත් දියුණු වෙළඳපොළවල මට්ටම සමග අපගේ නිෂ්පාදන සංවර්ධනය සමගාමී කිරීමටයි. සියැට් ඉන්ඩියා සමාගම දැනටමත් මෙම ක‍්‍රමවේදය අනුගමනය කරනවා. අපගේ තාක්ෂණික දැනුම සහ වෙළඳපොළ පළපුරුද්ද තුළින් සියැට් කැළණි සමාගම මේ වනවිට ප‍්‍රතිලාභ ලබනවා,’ යනුවෙන්ද ගොඑන්කා මහතා පැවසීය.

    මෙහිදී, අදහස් දක්වමින් සියැට්-කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමානාකාර අධ්‍යක්ෂ, විජේ ගාම්භීරේ මහතා මෙසේ සඳහන් කළේය. ‘ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන්නේ සියැට්-කැළණි සමාගම මගින්. අපි නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් අපනයනය කරනවා.  මගී මෝටර් රථ කාණ්ඩයේ රේඩියල් ටයර් මෙරට වෙළඳපොළ 32% ක ශක්තිමත් කොටසක් සියැට් සතුයි. ඒ වගේම ට‍්‍රක් සහ සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳපොළින් 51% ක කොටසක් අප සතුයි. ශ‍්‍රී ලංකාවේ වෙළඳ ටයර් අංශය වඩාත් රේඩියල් ටයර් වෙතට නැඹුරු වෙමින් තිබීම හමුවේ අපගේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට මෙය හොඳම කාලය ලෙස අප සලකනවා.’

    සමාගම විසින් රේඩියල් ටයර් නිෂ්පදනය සඳහා සිදුකරන ආයෝජනයෙන් කොටසක් යොදවන්නේ ටයර් නිෂ්පාදන උපකරණ සහ තාක්ෂණය දියුණු කිරීම සඳහායි. මෙහිදී, අළුත් ටයර් ප්‍රෙස්, කම්පවුන්ඞ් මිශ‍්‍ර කිරීමේ තාක්ෂණය දියුණු කිරීමට, ගෝලීය තත්ත්වයේ යන්ත‍්‍ර සූත‍්‍ර සහ තාක්ෂණය ලබාගැනීමට මුදල් අයෝජනය කරනු ඇත. ීඹඪ සහ අති සුඛෝපභෝගී මෝටර් රථ කාණ්ඩය සඳහා ප‍්‍රීමියම් රේඩියල්ස් ටයර් නිෂ්පාදනය කිරීමේ කටයුතුද සියැට් විසින් අඛණ්ඩව පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. මේ තුළින් රේඩියල් ටයර් නිෂ්පාදන අගය දාමයේ ඉදිරියට ගමන් කිරීමට සැලසුම් කර තිබෙන බව ගාම්භීරේ මහතා සඳහන් කළේය.

    ඉන්ධන ඉතිරි කිරීම, දිගු කාලයක් භාවිතා කළ හැකිවීම සහ ඉහළ කාර්ය සාධනයකින් යුක්තවීම යන ගුණාංගද සිය ටයර් නිෂ්පාදන කටයුතු සඳහා වැඩි වැඩියෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී ගාම්භීරේ මහතා ප‍්‍රකාශ කළේය.

    සියැට් විසින් මේ වනවිට ප‍්‍රමාණ 33 කින් යතුරු පැදි ටයර් නිෂ්පාදනය කරන අතර මෙම ටයර් සෑම ජනප‍්‍රිය යතුරු පැදි වර්ග සඳහා ගැලපෙන ලෙස නිෂ්පාදනය කර ඇත. මෙම ටයර් නිෂ්පාදනය කරන්නේ 2015 වසරේදී සමාගමේ කැළණිය පරිශ‍්‍රයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අති නවීන යතුරු පැදි ටයර් කර්මාන්ත ශාලාව තුළයි. මෙම රුපියල් බිලියන 03 ක ආයෝජනයේ කොටසක් ලෙස මෙම ටයර් නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ ධාරිතාවය දෙගුණයකින් වැඩි කරමිනි.

    2017 වසරේදී කීර්තිමත් Deming ත්‍යාගය දිනාගත් ජපානයෙන් පිටත සිටින එකම ටයර් නිෂ්පාදකයා වන්නේ සියැට් ඉන්දියා සමාගමයි.  මෙම ත්‍යාගය දිනා ගැනීම මගින් ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු ටයර් නිෂ්පාදනය කරන්නෙකු ලෙස සියැට් සතු තත්ත්වය තවදුරටත් තහවුරු වී තිබෙන අතර ලෝකයේ ප‍්‍රමුඛතම වාහන සමාගම් සමග සබඳතා තර කර ගැනීමට මේ තුළින් අවස්ථාව උදාවී තිබේ. සමස්ත ගුණාත්මක කළමනාකරණය (TQM) පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම සම්මානයක් ලෙසින් සැලකෙන Deming ත්‍යාගය තුළින්  සමස්ත ගුණාත්මක කළමනාකරණය (TQM) පිළිබඳව ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ පුද්ගලයින් සහ සමාගම් ඇගයීමට ලක් කිරීම සිදුකරයි. මෙම ත්‍යාගය 1951 වසරේදී ආරම්භ කර තිබෙන්නේ W. Edwards Deming මහතා සිහිවීම සඳහා වන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ සංඛ්‍යාත්මක ගුණාත්මක පාලනය වෙනුවෙන් අමිල සේවාවක් ඒ මහතා විසින් සිදුකර ඇත.

    සියැට්-කැළණි සමාගම විසින් රේඩියල්්, වාණිජ, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යන කාණ්ඩයන්ගේ ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 32% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 23% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 15 ක් වෙත මේ වනවිට ටයර් අපනයනය සිදුකරයි.