March, 12, 2020
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල අඩු කිරීම මෙවැනි අවස්ථාවක නොකළ යුත්තක් බවත්, එය ආර්ථික අර්බුදයකට මග පෑදීමක් බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරනුයේ තෙල් මිල පහළ දමා ජනතාව ගමන් බිමන් යාම සඳහා උනන්දු කරලීම මේ අවස්ථාවේ කළ යුත්තක් නොවන බවයි. අද දින අද දෙරණ 24 Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙසේ පැවසීය.
“මේ සුවිශේෂී අවස්ථාව තුළ කවුරු හරි තෙල් මිල පහළ දැමිය යුතුයි කියලා තර්ක කරනවා නම්, එය මේ අර්බුදය තුළ ඇති විය හැකි වාසි, ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කරන තර්කයක් බවයි මගේ විශ්වාසය. පසුගිය වසර 3-4 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු විශාල වශයෙන් අඩාල වීමක් සිදුවුණා. එය අපි කවුරුත් දන්නා දෙයක්. අනෙක් අතට ණය බර සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක තිබෙනවා. විදේශ අංශය තුළ අපි ශක්තිමත් තත්ත්වයක නොවෙයි සිටින්නේ. කොරෝනා වෛරසය නිසා එම තත්ත්වය තවදුරටත් අස්ථාවර වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ තත්ත්වය තුළ අපි තෙල් පරිභෝජනය සඳහා ජනතාව උනන්දු කළ යුතු නැහැ.“
“තෙල් කියන්නේ පිටරටින් ආනයනය කරන දෙයක්. තෙල් මිල පහළ දැමීම හමුවේ තෙල් පරිභෝජනයේ ඉහළ යාමක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ලංකාව වගේ රටක කළ යුතු මූලිකම දේ තෙල් පරිභෝජනය අඩු කිරීම. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය නොයන කටයුතු සඳහා තෙල් පරිභෝජනය අධෛර්යමත් කළ යුතුයි.“
“මෙවැනි වසංගතකාරී තත්ත්වයක් තුළ පුද්ගලයෝ පුළුවන් තරම් අත්‍යාවශ්‍ය නොවන ගමන් යෑමෙන් වැළකිලා සිටිය යුතුයි. තෙල් මිල පහළ දමලා, ජනතාව ගමන් බිමන් යාමට උනන්දු කරලීම මේ අවස්ථාවේ කළ යුත්තක් නොවේ. අනෙක් අතට ලෝක ආර්ථිකය තවදුරටත් කුමන දිශාවට ගමන් කරයිද, මොන වගේ අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරයිද යන්න පැහැදිලි නැහැ.“
“මේ අවස්ථාවේ දී කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා රජයට විවිධ වියදම් දරන්න සිදුවෙනවා. විශේෂයෙන්ම රජයේ අයභාරය ශක්තිමත් විය යුතුයි. මේ තත්ත්වය තුළ කළ යුතු වන අනපේක්ෂිත වියදම් නියමාකාරයෙන් සිදුකිරීමට රජයට මුදල් තිබිය යුතුයි. ලෝක තෙල් මිල අඩු වුණා කියලා, එහි වාසිය ජනතාවට දෙනවා කියලා, තෙල් මිල අඩු කිරීම කිසිසේත්ම යෝග්‍ය ආර්ථික කටයුත්තක් නොවෙයි. අත්‍යාවශ්‍යයෙන්ම ආර්ථික අර්බුදයකට ගමන් කිරීමට අවශ්‍ය වෙන මග සැකසීම තමයි ඒ හරහා සිදුවන්නේ.“
Video Story