මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු අඛණ්ඩව ඉහළට

    October, 17, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජූලි මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජූලි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 ජූලි මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජුනි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි. මෙම අපේක්ෂාව පසුගිය ජුනි මාසයේදී ගෙවුණු මැයි මාසයට සාපේක්ෂව පහළ වැටී තිබුණි.

    මෙම අපේක්ෂාව පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩවම පසුගිය පෙබරවාරි මාසය දක්වා ඉහළ ගැන තිබුණු මෙම අපේක්ෂාව පහළ වැටීම ආරම්භ වූයේ පසුගිය මාර්තු මාසයේ සිටයි.

    පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය 8.2% ක් දක්වා වර්ධනය වී තිබුණු අතර එය පසුගිය මාර්තු මාසය වනවිට 8.6% ක් දක්වා තවදුරටත් වර්ධනය වුවත් එය නැවතත් පසුගිය අප්‍රේල් මාසය වනවිට 8.4% ක් දක්වා අඩුවිය. පසුගිය මැයි මාසයේදී උද්ධමනය තවදුරටත් අඩුවී 7.1% ක්වූ අතර පසුගිය ජුනි මාසයේ උද්ධමනය 6.3% ක් දක්වා යළිත් අඩුවිය. එය වෙනස් නොවී 2017 ජූලි මාසයේ උද්ධමනයද 6.3% ක්වී තිබේ. මේ අතර, ජුනි මාසයේදී යම් වර්ධනයක් පෙන්නුම් කර තිබූ මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ජූලි මාසයේද අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. කෙසේවෙතත්,‍් 2017 ජූලි මාසයේදී අපනයන ආදායම වැඩි වුවද ආනයන වියදම වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් 2016 ජූලි මාසයට සපේක්ෂව වෙළඳ හිඟය පුළුල් වී ඇත. 2017 ජූලි මාසයේදී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් අඩුවී තිබෙන අතර පසුගිය මාස හතරක කාලය තුළදී අඩුවූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආදායම් ගෙවුණු ජූලි මාසයේදී වැඩිවීම කැපී පෙනේ. මීට අමතරව, 2017 ජූලි මාසයේදී මෙරට මූල්‍ය ගිණුම තවදුරටත් ශක්තිමත් වී ඇත. මේ වසරේ දෙවැනි වරටත් අපනයන ආදායම ගෙවුණු ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවමින් වර්ධනය වූ අතර මෙම වර්ධනයට ඉහළම දායකත්වය කාර්මික අපනයන දක්වද්දී කෘෂි කාර්මික අපනයන දෙවැනි දායකත්වය ලබාදෙන ලදී.

    මේ අතර, 2017 ජූලි මාසයේදී මෙරට අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 13.9% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1016 ක් දක්වා අඛණ්ඩවම පස්වන මාසයටත් ඉහළ ගොස් ඇත.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය කාලයේදී වෙනස් වූ ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    2017 ජූලි මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 ජූලි මාසයේදී ඉහළ ගොස් තිබේ.

    මෙම අපේක්ෂාව පසුගිය ජුනි මාසයේදී පහළ ගියේය. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    මෙරට දූෂණය අඩුවීමේ බලාපොරොත්තු පසුගිය මාර්තු මාසයේ සිට පහළ යාමට පටන් ගත් අතර පිට පිටම තුන්වන මාසයටත් එම බලාපොරොත්තුව ගෙවුණු මැයි මාසයේදීත් අඩුවිය. 2017 ජුනි මාසයේදී පෙනෙන්නට තිබුණු ධනාත්මක තත්ත්වය වූයේ මෙම බලාපොරොත්තුව නැවත වරක් වර්ධනය වී තිබීමයි. එය තවදුරටත් ඉදිරියට යමින් ගෙවුණු ජූලි මාසයේද මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු තවදුරටත් වර්ධනය වී ඇත.

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත්කළ අතර එහි පරීක්ෂණ කටයුතු 2017 ජූලි මාසය වනවිට තවත් වැදගත් අදියරකට පත්වී තිබීම කැපී පෙනේ.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

    Friedrich Naumann Stiftung Fur Die Freiheit සමග සම්බන්ධ වෙමින් ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරයි.