මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටේ

    December, 4, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අගෝස්තු මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අගෝස්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 අගෝස්තු  මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජූලි මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබෙන බවයි. මෙම අපේක්ෂාව පසුගිය ජූලි මාසයේදී ඉහළ ගොස් තිබුණි.

    මෙම අපේක්ෂාව 2016 ඔක්තෝම්බර් මාසයේ සිට වරින් වර අඩු වැඩිවී තිබෙන අතර වඩාත් ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ මෙම අඩුවීම් සහ වැඩිවීම් විශාල ප්‍රමාණ වලින් සිදුවී නොමැති බවත් මෙම අපේක්ෂාව මෙම කාල සීමාව තුළ යම් නිශ්චිත සීමාවක් තුළ වෙනස් වී තිබෙන බවයි. තවත් විදිහකින් කියනවා නම් මෙම අපේක්ෂාව මෙම කාල සීමාව තුළදී විශාල වෙනස්කම් වලට භාජනය වී නොමැත.

    පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.3% ක මට්ටමක තිබුණත් එය අගෝස්තු මාසයේදී සියයට 7.9% ක් දක්වා විශාල ලෙස වැඩිවී තිබේ. මෙසේ උද්ධමනය ඉහළ යාමට ආහාර කාණ්ඩය සහ ආහාර නොවන කාණ්ඩය ඉවහල් වී ඇත.

    මේ අතර, 2017 අගෝස්තු මාසයේදී අපනයන ආදායම් වර්ධනය වුවද ආනයන වියදම් වැඩි වේගයකින් ඉහළ යාම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් වී තිබේ. එසේම, සංචාරක ඉපැයීම් ඉහළ ගියද පුළුල් වූ වෙළඳ හිඟය සමග විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඩුවීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරීත්වය දුර්වල වී තිබේ.

    ජී. එස්.පී. ප්ලස් සහනය හිමිවීමේ වාසිය නැවත වරක් පෙන්නුම් කරමින් අඛණ්ඩව දෙවන මාසය සඳහාත් අගෝස්තු මාසයේදී අපනයන ආදායම් ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය කාලයේදී වෙනස් වූ ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    2017 අගෝස්තු මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

     

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 ජූලි මාසයේ තිබූ තත්ත්වයෙන්ම 2017 අගෝස්තු මාසයේද තිබීම කැපී පෙනේ. මේ අනුව, මෙම අපේක්ෂාව පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී අඩුවීම හෝ වැඩිවීම සිදුවී නොමැත.

    මෙම අපේක්ෂාව පසුගිය ජුනි මාසයේදී පහළ ගොස් තිබුණි . (02 වන ප්‍රස්ථාරය බලන්න)

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    මෙරට දූෂණය අඩුවීමේ බලාපොරොත්තු පසුගිය ජූලි මාසයේදී වර්ධනය වුවත් පසුගිය අගෝස්තු මාසය වනවිට එය බොහෝ අඩුවී තිබේ. 2017 ජුනි මාසයේ සිට පෙනෙන්නට තිබුණු ධනාත්මක තත්ත්වය වූයේ මෙම බලාපොරොත්තුව නැවත වරක් වර්ධනය වෙමින් එය තවදුරටත් ජූලි මාසයේද වර්ධනය වීමයි. නමුත්, එම ප්‍රවණතාවය අගෝස්තු මාසයේදී වෙනස් වී ඇත.

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත් කළේය.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.