ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළට

    December, 27, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 සැප්තැම්බර් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 සැප්තැම්බර් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි. මෙම අපේක්ෂාව පසුගිය අගෝස්තු මාසයේදී පහළ ගොස් තිබුණි.

    මෙම අපේක්ෂාව 2016 ඔක්තෝම්බර් මාසයේ සිට වරින් වර අඩු වැඩිවී තිබෙන අතර වඩාත් ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ මෙම අඩුවීම් සහ වැඩිවීම් විශාල ප්‍රමාණ වලින් සිදුවී නොමැති බවත් මෙම අපේක්ෂාව මෙම කාල සීමාව තුළ යම් නිශ්චිත සීමාවක් තුළ වෙනස් වී තිබෙන බවයි. තවත් විදිහකින් කියනවා නම් මෙම අපේක්ෂාව මෙම කාල සීමාව තුළදී විශාල වෙනස්කම් වලට භාජනය වී නොමැත.

    පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.3% ක මට්ටමක තිබුණත් එය අගෝස්තු මාසයේදී සියයට 7.9% ක් දක්වා විශාල ලෙස වැඩිවූ අතර මෙය සැප්තැම්බර් මාසය වනවිට 8.6% ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ. මෙසේ උද්ධමනය ඉහළ යාමට ආහාර කාණ්ඩය සහ ආහාර නොවන කාණ්ඩය ඉවහල් වී ඇත.

    මේ අතර, අඛණ්ඩව තුන්වන මාසය සඳහාත් ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකරමින් 2017 සැප්තැම්බර් මාසයේදී මෙරට අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී තිබේ. එසේම, මෙම මාසය තුළදී මෙරට ආයෝජන විශ්වාසය වර්ධනය වී තිබෙන අතර කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත ඉහළ විදේශීය ලැබීම් හිමිවීම කැපී පෙනේ. මේ හේතුවෙන් 2017 සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කර තිබේ. මේ අතර, 2016 වසර අවසන් වනවිට මෙරට දළ නිළ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක්වූ අතර එය 2017 සැප්තැම්බර් අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය වී ඇත.

    2017 සැප්තැම්බර් මාසයේදී මෙරට අපනයන වර්ධනය වූ අතර මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වා තිබෙන්නේ ඇමරිකාව සහ යුරෝපා වෙළඳපොළට සිදුකරන ලද ඇඟලුම් අපනයන වර්ධනය වීමයි. සලකා බලන මාසයේදී මෙරට ආනයන වියදම අඛණ්ඩවම තෙවැනි මාසයටත් වර්ධනය වූ අතර ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ තාප විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වැඩිපුර ඉන්ධන ආනයනය කිරීම ආනයන වියදම වර්ධනය වීමට හේතුවී තිබේ.

    2017 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ඉපැයිම් සුළු වශයෙන් පහළ ගොස් තිබෙන අතර විදේශ ප්‍රේෂණද අඩුවී ඇත.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය කාලයේදී වෙනස් වූ ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    2017 සැප්තැම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 අගෝස්තු මාසයට සාපේක්ෂව 2017 සැප්තැම්බර් මාසයේදී වර්ධනය වී තිබේ. ආයෝජක විශ්වාසය වර්ධනය වීම ඇතුළු කාරණා මේ සඳහා බලපාන්නට ඇත.

    මෙම අපේක්ෂාව පසුගිය ජුනි මාසයේදී පහළ ගොස් තිබුණි . (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    මෙරට දූෂණය අඩුවීමේ බලාපොරොත්තු පසුගිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර එය නැවතත් 2017 සැප්තැම්බර් මාසයේදීත් පහළ ගොස් ඇත.

    නමුත්, වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත්කළ අතර එයට අදාළ වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.