මෙරට ප්‍රමුඛත ම දේශීය තීන්ත නිෂ්පාදකයාවන මල්ටිලැක් 2017 ඊයම් සුරක්ෂිතතා සතිය සමරයි

    November, 6, 2017

    මෙරට විශාලත ම තීන්ත අපනයනකරු මෙන්ම IPEN America ආයතනයේ Lead Safe Paint ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් හිමි ගෝලීය සන්නාම සන්නාම ත්‍රිත්වයෙන් එකක්වන මල්ටිලැක්, 2017 ජාත්‍යන්තර ඊයම් සුරක්ෂිතතා සතිය සැමරීම සඳහා ගෝලීය ප්‍රජාව සමග අත්වැල් බැඳගත්තේය. විශේෂයෙන් කුඩා දරුවන් හට පිළිකාකාරක විෂ රසායනිකයක්වන ඊයම්වලට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම සතිය පුරා මල්ටිලැක් සමාගම වැඩසටහන් රැසක් දියත්කිරීමට නියමිතය.

    2020 වසරවන විට ගෝලීය වශයෙන් තීන්ත නිෂ්පාදනවල ඊයම් ඉවත් කිරීමේ අරමුණින් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ගොඩනැගුනු ගෝලීය සබඳතාවක්වන ඊයම් සහිත තීන්ත ඉවත්කිරීමේ ගෝලීය සංධානය විසින් මෙම සතිය ක්‍රියාත්මක කෙරේ.

    IPEN යනු, විෂ රසායනික හේතුවෙන් මානව සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් අවමකිරීමට හෝ ඉවත්කිරීමට ලොව පුරා රාජ්‍යයන් 100කට අධික සංඛ්‍යාවක කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලයකි.

    ප්‍රජා ක්‍රියාමාර්ග හරහා පාරිසරික සාධාරණත්වය සැමට උරුමකර දීම වෙනුවෙන්, ජනතාවගේ දැනුම්වත් භාවය වැඩිකිරීමට සහ ඊයම්වලින් ආරක්ෂා වීමේ කඩිනම් අවශ්‍යතාව පෙන්වා දීමට වැඩසටහන් රැසක් දියත් කරන සමාජ සේවා පරිසර සංවිධානයක්වන පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සමග මල්ටිලැක් මෙරට තුළ අත්වැල් බැඳගත්තේය.

    "මුළුමනින්ම දේශීය සමාගමක් ලෙස අප, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව උසස්ම නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදෙන අතර ම, තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රය තුළත්, මිනිසාගේ සෞඛ්‍යය සහ සුරක්ෂිතාව හා පරිසර සුරක්ෂිතතාව තුළත් ධනාත්මක බලපෑමක් ඇතිකිරීම සඳහා නිබඳ කැපවනවා. ඊයම් සුරක්ෂිතතා සතිය සමරමින්, විශේෂයෙන් දරුවන් වෙනුවෙන් වඩාත් ස්ථාවර ඊයම් ආරක්‍ෂිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට අප දායකත්වය ලබාදෙනවා" යනුවෙන් Macksons Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මිස්වර් මැකීන් මහතා සඳහන් කළේය.

    මල්ටිලැක් ඊයම් සුරක්ෂිතතා වැඩසටහන යටතේ එම සමාගම, දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර ඊයම්වලට නිරාවරණය වීමෙන් වැළක්වීම සඳහා පෙරපාසල් ගණනාවකට ඊයම් වලින් තොර තීන්ත පරිත්‍යාග කළ අතර එම උළෙල රාජගිරියේ කොටා පාරේදී පැවැත්විණි.

    මීට අමතරව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් ඊයම් වලට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම සඳහා මල්ටිලැක් සමාගම එම රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් රෝහලේ ස්නායු රෝග වාට්ටුවට ඊයම්වලින් තොර තීන්ත ලබා දීමට කටයුතු කළේය.

    තව ද, බොරැල්ල අවට සිටින ගර්භණී සහ කුඩා දරුවන් සිටින මවුවරුන් හට ඊයම් රහිත වටපිටාවක වැදගත්කම පිළිබඳ දැනුම්වත් කරමින් එම සමාගම කාසල් රෝහල් පරිශ්‍රය අසළ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද දියත් කළේය.

    "පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අප ශ්‍රී ලංකාව මුළුමනින් ම ඊයම්වලින් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවනවා. මල්ටිලැක් සමග ඊයම් සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මක කිරීමේදී අප දරුවන්ගේ සෞඛ්‍යය සඳහා විශේෂ අවධානයක් යොමුකරනවා" යනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

    2016 වසරේදී මල්ටිලැක් සමාගමට IPEN America ආයතනයේ කීර්තිමත් Lead Safe Paint ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම්ලද අතර එය හිමිකර ගැනීමට සමත්වූ ලොව තීන්ත සන්නාම ත්‍රිත්වය අතරට එක්වීමට ඒ අනුව එම සමාගම සමත්විය. තවද, මල්ටිලැක් සමස්ත නිෂ්පාදන පෙළ සඳහා ඊයම් සුරක්ෂිතතා සහතිකය හිමිවී තිබීම ද විශේෂත්වයකි.

    විචිත්‍රවත් සහ කාලගුණයට ඔරොත්තු දෙන තීන්ත, වෝටර් පෘෆින්, වුඩ් කෙයාර් සහ ඔටෝ පේන්ට් ආදිය මල්ටිලැක් අසමසම අපනයන නිෂ්පාදන පෙළ අතර වෙයි. Multilac Colourbank, Multilac Platinum, Ital wood, Multilac Auto, Micron සහ Mitsuko එහි ප්‍රකට සන්නාම වේ.

    මල්ටිලැක් ඉන්දියාව, මාලදිවයින, ඕමානය, සෞදි අරාබිය, ඔස්ට්‍රේලියාව, සීෂෙල්ස්, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පකිස්ථානය, මියන්මාරය, කොංගෝ සහ ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ ඇතුළු රාජ්‍යයන් 12කට තීන්ත අපනයනය කරන අතර මතුපිට ආවරණ ආලේපන විසඳුම් ද ලබාදෙයි. මල්ටිලැක් මෙරට විශාලත ම තීන්ත අපනයනකරු ලෙස මෙරට ආර්ථිකය සඳහා ද කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙයි.