මෙරට බලශක්ති විසඳුම් සොයා ගැනීම සඳහා UTE දායකවෙයි

    July, 25, 2017

    මෙරට බල උත්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, දේශීය බලශක්ති කර්මාන්තයේ නව ප්‍රවණතා සහ නිෂ්පාදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හමුවීමක් පසුගියදා සංවිධානය කළේය.

    මෙරට බලශක්ති උත්පාදනයේ වර්ධනය සහ නව සූර්ය බලශක්ති විසඳුම් හරහා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන කැටපිලර් අලෙවි නියෝජිතයෙකු ලෙස UTE සමාගම මෙම උළෙලේදී කැපී පෙනුණි.

    බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, වෘත්තිකයන් මෙන්ම බලශක්ති නියාමන අධිකාරිවල නිලධාරීන් ද, බලශක්ති විශේෂඥයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

    මෙරට නවතම බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රවණතා පිළිබඳ පැන නැගී ඇති ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේය. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, විදුලිබල උත්පාදනය, කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පිළිබඳ එතුමා සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළේය.

    "කාර්මීකරණය සහ මහා පරිමාණ විදුලිබල ජාල හේතුවෙන් පසුගිය දශක ගණනාව පුරා මෙරට ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය වර්ධනය වී තිබෙනවා. ඉදිරි වසර කිහිපය බලශක්ති ක්ෂේත්‍රයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වනු ඇත. බලශක්ති බලාගාර, සම්ප්‍රේෂණ පද්ධති සහ ගමනාගමනය සඳහා භාවිතා කෙරෙන ඉන්ධන ආදී විවිධ අංශවලට ඉදිරි වසර කිහිපය තුළ විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වනවා. ඒ අතර, ශ්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වර්ධනයවන නිසා අපට තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනවා" යනුවෙන් කුමාරසිංහ මහතා සඳහන් කළේය.

    සම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍ර මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් වඩාත් පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති ලොව ප්‍රධාන පෙළේ මතධාරීන් කිහිප දෙනෙකුගේ අදහස් ද ඉදිරිපත් කරමින් ඒ මහතා බලශක්ති උත්පාදන ක්ෂේත්‍රය තුළ ලෝක ප්‍රවණතා පිළිබඳව ද රැස්ව සිටි පිරිස දැනුම්වත් කළේය. බලශක්ති සුරක්ෂිතතාවයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් ඒ මහතා සඳහන් කළේ ස්ථිර, සුරක්ෂිත සහ පිරිවැය කාර්යක්ෂම බලශක්ති සැපයුමකට අදාළ සියලු පැතිකඩ කෙරෙහි දැන් අවධානය යොමු කළ යුතු බවය. "අප සතු සීමිත මූලාශ්‍ර මගින් උත්පාදනය කෙරෙන බලශක්තිය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ කතිකාවක් මෙරට තුළ ඇති විය යුතුයි. සූර්ය බලය, සුළඟ සහ ජලය ආදී අප සතු ඕනෑම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයක ඵල නෙළා ගැනීමට අප කටයුතු කළ යුතුයි"

    දකුණු ආසියානු කැටපිලර් ඩීසල් ව්‍යාපෘති අංශයේ පළාත් කළමනාකාර සංකර් නාරායන් මහතා මෙහිදී කැටපිලර් බල උත්පාදක යන්ත්‍ර පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේය. ඉන් අනතුරුව UTE සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී නලින් මනෝරත්න මහතා UTE සමාගමේ නිෂ්පාදන සහයෝගී සේවා පිළිබඳව ද, එම සමාගමේ MEP විසඳුම් අංශයේ විදුලි ඉංජිනේරු ශානිම සිල්වා මහතා සිය අංශය මගින් පිරිනමනු ලබන සේවා පිළිබඳව ද පැහැදිලි කළේය.

    නවීන Thin Film තාක්ෂණයෙන් යුතු කැටපිලර් ප්‍රකාශ වෝල්ටීය (PV) සූර්ය කෝෂවල විශිෂ්ටත්වය පිළිබඳ අදහස් පළ කළ UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය සූර්ය ශක්තිය මත රඳා පවතින බැවින් තමන් කැටපිලර් අලෙවි නියෝජිත ජාලය සමග පුනර්ජනනීය බලශක්ති වඩාත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවය. "කැටපිලර් PV සූර්ය කෝෂවල Thin Film තාක්ෂණය ඉතා සරළ වුවත්, එමගින් ලබා දෙන ප්‍රතිඵල ඉතා විශිෂ්ටයි. සහතිකකරණ සහ පරීක්ෂාවන් යටතේ සාර්ථකත්වය තහවුරු කරන ලද මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාව වැනි අධික උෂ්ණත්වයක් සහිත රටවලට යෝග්‍යවන ලෙස නිෂ්පාදනය කර ඇති අතර සූර්ය කෝෂ සඳහා ආයෝජනය කිරීමට කාලය එළඹ ඇති බව සඳහන් කළ හැකියි" යනුවෙන් ඉස්මයිල් මහතා ප්‍රකාශ කළේය.

    සේයා රූ සටහන : ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රධාන දෙසුම සිදු කරමින්