මෙහෙයට දැක්වූ අවධානය තුළින් අභියෝගාත්මක 2021 සඳහා කොමර්ෂල් බැංකු සමූහයට ශක්තිමත් වර්ධනයක්

    March, 3, 2022

    මිශ‍්‍ර ආර්ථික තත්වයක් පැවතුණු 2021 වසර අවසන් වනවිට කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව 7.70% ක වර්ධනයක් ලබාගත් අතර, පොලී ආදායම මෙම අගයෙන් 80% ක් නියෝජනය කිරීම කැපී පෙනේ.

    ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන වලින් සමන්විත සමූහය 2021 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 132.818 ක පොලී ආදායමක් ලබාගත් අතර එය පෙර වසරට සාපේක්ෂව 7.04% ක වර්ධනයක් වේ. මේ අතර, සලකා බලන වසරේදී පොලී වියදම 9.31% කින් රුපියල් බිලියන 66.402 කට අඩුවීම හේතුවෙන් සමූහය විසින් රුපියල් බිලියන 66.416 ක ශුද්ධ පොලී ආදායමක් වසර තුළදී වාර්තා කර තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 30.56% ක වර්ධනයකි.

    2021 අවසන් කාර්තුව තුළදී පොලී ආදායම 17.84% කින් වර්ධනය වී රුපියල් බිලියන 36.592 ක්වූ අතර සමූහයේ මාස තුනක දළ ආදායම වූ රුපියල් බිලියන 43.625 ක මුදලෙන් 83% කට වැඩි ප‍්‍රමාණයකට මෙම පොලී ආදායම මගින් දායකවී තිබේ. මෙම පොලී ආදායම 2020 හතරවන කාර්තුවට සාපේක්ෂව 13.76% ක වර්ධනයක් බව සමූහය සඳහන් කරයි. මෙම පොලී ආදායම් වර්ධනය වී තිබෙන්නේ පොලී අනුපාත වැඩි කිරීම නිසා හතරවන කාර්තුවේ පොලී වියදම 4.30% කින් රුපියල් බිලියන 17.709 ක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක බවද සමූහය සඳහන් කරයි.

    මේ අතර, සලකා බලන වසර තුළදී සමස්ත මෙහෙයුම් ආදායම් 21.98% කින් රුපියල් බිලියන 93.598 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර සමූහයේ හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ 17.37% කින් රුපියල් බිලියන 25.140 ක් දක්වා වර්ධනය වී තිබේ.

    මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු පැනවීමට පෙර මෙහෙයුම් ලාභ කැපී පෙනෙන ලෙස 33.58% කින් රුපියල් බිලියන 38.801 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර වසර තුළදී සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු 28.99% කින් රුපියල් බිලියන 5.845 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර, ආදායම් බදු වලට පෙර වසරේ ලාභය 34.41% කින් වර්ධනය වී රුපියල් බිලියන 32.957 ක්වී තිබේ. බැංකු සමූහය සඳහන් කරන්නේ සලකා බලන වසර තුළදී ආදායම් බදු අනුපාත අඩුකිරීම නිසා ආදායම් බදු ගාස්තු සාපේක්ෂ වශයෙන් අඩු අනුපාතයකින් හෙවත් 16.60% කින් වර්ධනය වී රුපියල් බිලියන 8.667 ක්වී තිබෙන බවයි. මේ නිසා, සලකා බලන කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 24.290 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 42.16% ක වර්ධනයක් වේ. මෙම ශුද්ධ ලාභය වාර්තා කර තිබෙන්නේ යෝජනා කර තිබෙන අධිභාර බද්ද ගෙවීමට පෙර වන අතර මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන විටත් එම බද්ද පාර්ලිමේන්තුව විසින් අනුමත කර නොමැති නිසා, සලකා බලන වසරට එම බද්ද ඇතුළත් කර නොමැති බව කොමර්ෂල් බැංකු සමූහය පවසයි.

    සමූහයෙන් වෙන්ව ගත්විට කොමර්ෂල් බැංකුව විසින් සලකා බලන වසර තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 32.001 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 36.11% ක ශක්තිමත් වර්ධනයක් වේ. මේ අතර, සලකා බලන කාලය තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 44.17% ක වර්ධනයකි.

    මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සලකා බලන වසර තුළදී ඇතිවූ බාහිර අභියෝග දෙස සලකා බැලීමේදී සමූහය විසින් වාර්තා කර තිබෙන මෙම ප‍්‍රතිඵල අතිවිශිෂ්ට යැයි සඳහන් කළ හැකියි. අපගේ ප‍්‍රධාන මෙහෙය කෙරෙහි සහ මේ අවස්ථාවේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය කෙරෙහි අපි අවධානය දැක්වූවා. පසුගිය වසර 101 ක කාලය තුළදී මෙන්ම මෙවරත් අපගේ කණ්ඩායම විසින් පාරිභෝගිකයින් වෙනුවෙන් දැක්වූ කැපවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේ 2021 වසර තුළදී බැංකුවේ ප‍්‍රධාන කාර්යසාධන අනුපාතයන් ශක්තිමත් කර ගනිමින් වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් සමඟ ජාතික ආර්ථිකයට ඉතාමත් වැදගත් බැංකුවක් ලෙස තමන්ගේ ස්ථානය තව තවත් වර්ධනය කරගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වූ බවයි. ‘අවිනිශ්චිතතාවයන් මැද වුවත් පසුගිය වසර තුළදී අපගේ වර්ධනය පවත්වා ගන්නා අතරම සහන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපි සමත් වුණා. මේ කාලයේදී ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අතුරින් කොවිඞ්-19 සහන ණය සඳහා ප‍්‍රමුඛතම බැංකුව බවට පත්වීමට හැකි වූ බව’ රෙන්ගනාදන් මහතා පැවසීය. ‘පාරිභෝගිකයින් කෙරෙහි අවධානය දක්වමින්, ඩිජිටල් සේවා සපයමින් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය තුළින් වසංගත කාලය පුරාම අපි අඛණ්ඩවම කැපී පෙනෙන මෙහෙයුම් විශිෂ්ටත්වයක් පෙන්නුම් කළා.’

    සලකා බලන වසර තුළදී බැංකු සමූහයේ සමස්ත වත්කම් 2021 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 221 කින් හෙවත් 12.54% කින් රුපියල් ටි‍්‍රලියන 1.983 ක් දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර, සමූහයේ දළ ණය සහ අත්තිකාරම් සලකා බලන වසර තුළදී රුපියල් බිලියන 133 කින් හෙවත් 13.83% කින් රුපියල් ටි‍්‍රලියන 1.095 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය මාස 12 ක කාලය පුරා මසකට රුපියල් බිලියන 11 ක සාමාන්‍යය වර්ධනයකි.

    සමූහයේ සමස්ත තැන්පතු මෙම කාල සීමාව තුළදී රුපියල් බිලියන 186 කින් හෙවත් 14.46% කින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන මාස 12 තුළදී මෙය සාමාන්‍යයක් ලෙස මාසයකට රුපියල් බිලියන 15.5 ක වර්ධනයකි. මේ අනුව, 2021 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකු සමූහයේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.473 ක්වී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුවයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

     

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා.