මෝටර් රථ ආනයනය සීමා කිරීමට මහ බැංකුව පියවර ගනී

    September, 20, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන ලදී.  මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක අවම මුදල් ආන්තිකයක් යටතේ පමණක් සිදු කළ යුතු ය.

    සාර්ව ආර්ථික ස්ථායිතාවට තර්ජනයක් විය හැකි මෑත කාලීන ප්‍රවණතාවන් පදනම් ව මෙලෙස ආන්තික මුදල් අවශ්‍යතාව පැනවීමට තීරණය කර ඇත. මෙම ප්‍රවණතාවන් වන්නේ:

        1. මෑත කාලීන ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ උච්චාවචනය සහ නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්ගේ ව්‍යවහාර මුදල් මත ඇති වී ඇති පොදු පීඩනය
        2. විදේශ විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකයන් සහ අයවැය ක්‍රියාමාර්ගයන් සම්බන්ධ ව ඉදිරි කාලයේ ඇති විය හැකි වෙනස් වීම් පිළිබඳ  අනිසි පුරෝකථනයන් හේතුවෙන් අඛණ්ඩ ව අධික ලෙස මෝටර් රථ ආනයනය කිරීම

    ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පැනවීම මෙන් ම මෝටර් රථ ආනයන මත පනවන ලද බදු සම්බන්ධයෙන් රජය මඟින් දැනටමත් ගෙන ඇති පියවර මගින් ද අත්‍යවශ්‍ය නො වන මෝටර් රථ ආනයනය සීමා වනු ඇති බවත් ‍එ මගින් ගෙවුම් තුලනයේ ජංගම ගිණුම මත හා විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙන පීඩනය ලිහිල් වනු ඇති බවත් අපේක්ෂා කෙරේ.