යටිතල ව්‍යාපෘති ඇණ හිටීමෙන් අපේ වර්ධනය පහළ යන ලකුණු

    April, 17, 2015

    නව රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ඇගයීමට ලක්කිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඩුවී 2015 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය ගිය වසරට සාපේක්ෂව සියයට 6.9 ක් දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව බලාපොරොත්තු පළකර තිබේ.

    ලෝක බැංකුවේ South Asia Economic Focus report නැමති වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙන අතර මෙමගින් අනතුරු හඟවා තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන ඕනෑම අවස්ථාවක ඒ තුළින් මෙරට ආර්ථිකයටද පීඩනයක් ඇතිවනු ඇති බවයි.

    ජනප්‍රිය අයවැය පොරොන්දු ලබාදෙමින් වියදම වැඩිකර ගැනීමෙන් ඔබ්බට ගොස් ඉදිරියේදී මෙරට රාජ්‍ය ආදායම් වර්ධනය කරගනිමින් අයවැය හිඟය අඩුකර ගැනීමට පියවර ගැනීම වැදගත් බව මෙහිදී බැංකුව විසින් අවධාරණය කර ඇත.

    මීට අමතරව, ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් රාජ්‍ය සහ පුද්ගලික ඉතුරුම් අඩු ශ්‍රී ලංකාව විසින් වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීම වැදගත් බව ලෝක බැංකුව මෙම වාර්තාවේ සඳහන් කර ඇත.

    මෙම වාර්තාවේ දක්වා තිබෙන්නේ ලංකාව විසින් කැඳවාගෙන තිබෙන සෘජු විදේශීය ආයෝජන බලාපොරොත්තු වූ තරම් ඉහළ මට්ටමක නොමැති බවයි.

    රජයේ දත්ත වලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1900 ක සෘජු විදේශීය ආයෝජන පැමිණ තිබෙන අතර ඉලක්කය තිබුණේ ඩොලර් බිලියන 2.5 ක සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමටයි.

    මෙරට ක්‍රියාත්මක කරන බොහෝ චීන ආයෝජන ව්‍යාපෘති නව රජය විසින් නැවත ඇගයීමට ලක්කිරීමට තීන්දු කිරීම හමුවේ ලංකාව කෙරෙහි තිබෙන චීන ආයෝජක විශ්වාසය බිඳවැටී තිබෙන අතර ආර්ථික විශ්ලේෂකයින් අවධාරණය කර තිබෙන්නේ ලංකාවට විදේශීය ආයෝජන අද්දවා ගැනීමට දිගු කාලීන ස්ථාවර ආයෝජන ප්‍රතිපත්ති රාමුවක් ලංකාව විසින් පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි.