“යහපත් හෙටක් සඳහා වන මාවත “ යන තේමාව යටතේ Huawei Carrier Congress 2018 අති සාර්ථක ලෙස පැවැත්වෙයි.

    May, 30, 2018

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයීමේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන Huawei සමාගම , මෙරට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව පත්වන Huawei Carrier Congress 2018 අති සාර්ථක ලෙස මැයි මස 14 සහ 15 යන දිනවලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබීය. Huawei Carrier Congress 2018 හි මේ වසරේ තේමාව වූයේ “යහපත් හෙටක් සඳහා වන මාවත “ යන්නයි. විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම Huawei Carrier Congress 2018 සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙරට ප්‍රවීනයින් මෙන්ම ආයතන රැසක් ද එක්ව සිටියහ.ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනයට Huawei හි දායකත්වය මැනවින් ප්‍රදර්ශනය කරමින් මෙම Huawei Carrier Congress 2018 සංවිධානය කෙරිණ.

    මෙම අවස්ථාවේදී 5G, All-Cloud network, video, සහ IoTආදී අංශවල තාක්ෂණය හා විසඳුම් පිලිබඳව Huawei විසින් ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදුකළ අතර විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සිය අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගැනීමටද එකඟත්වය පළ කෙරිණ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ඩොලර් ට්‍රිලියන 23ක වෙළඳ වටිනාකමක් අත්කරගෙන ඇති බවත්, සෑම පාර්ශවයක්ම පාහේ සිය ශක්‍යතා, සබඳතා, ව්‍යාපාර මාදිලි, අත්දැකීම්, සහ සහයෝගිතා ඒ තුළින් වර්ධනය කරගෙන ඇති බවද මෙහිදී අණාවරණය විය.

    Huawei Carrier Congress 2018 අමතමින් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ වඩා යහපත් දේ මෙරටට තිළිණ කිරීමට ශ්‍රී ලංකාවේ දුරකථන සේවා සපයන්නන් වෙත අනාගත දිශාව පෙන්වා දීම සඳහා Huawei Carrier Congress 2018 අතිශය වැදගත් වන බවයි. අනාගතයේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සියලු දෙනා සිය තාක්ෂණය හුවමාරු කරගනිමින් කටයුතු කරනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එය මෙරට තාක්ෂණික වර්ධනයට මහත් පිටුබලයක් වනු ඇති බවයි. ස්ථාවර සහ ජංගම දුරකථන ජාලා ඔස්සේ අන්තර්ජාලයට පිවිසීම නුදුරේදීම මූලික අයිතියක් බවටද පත්වනු ඇතිබව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජංගම දුරකථන ග්‍රාහකත්වය 130% ක් වන බවයි. මෙය විදුලි සංදේශ සේවා වල නිරත සමාගම් වලට අතිශය වාසිදායක තත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පවතින ගණන් බැලීම් මත අනාගත විදුලි සංදේශ පාරිභෝගිකත්වය බිලියනය දක්වාපස් ගුණයකින් හෝ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි. එමෙන්ම 3G සහ 4G සේවාවන්හි යටිතල පහසුකම් හා සන්නිවේදන අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයේ පසුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරියේදී 5G තාක්ෂණය හඳුන්වා දීමෙන් පසු වඩා සවිමත් හා ස්ථාවර ලෙස සන්නිවේදන කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බව ද අමත්‍යවරයා පැවසීය .

    මෙම අවස්ථාවට එක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා කියා සිටියේ Huawei Carrier Congress 2018 මඟින් මෙරටට අතිශය වැදගත් වන ක්ෂේත්‍රයක ප්‍රමුඛතා හඳුන්වා දීමට අපේක්ෂා කළ බවයි. එමන්ම මෙම Huawei Carrier Congress 2018 තුළින් ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා Huawei හි ඇති උනන්දුව මැනවින් ප්‍රකට වන බව ද පෙන්වා දුන්නේය. එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධාන, ආයතන, සේවා සැපයුම්කරුවන්, සහ අනිකුත් කොටස්කරුවන් හා එක්ව වඩා හොඳ සන්නිවේදන පරිසරයක් මෙරට ගොඩ නැගීම සඳහාත් ඒ ඔස්සේ අවස්ථා, ව්‍යාපාර , සේවා ආදිය පුළුල් කිරීම සඳහාත් මෙහිදී පුළුල් අවස්ථාවක් හිමිවූ බව පෙන්වා දුන්නේය. ඩිජිටල් ආර්ථිකය තුල නව කර්මාන්ත පරිසරයක් මෙන්ම නව නිපැයුම් රැසක් හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය. එතුළින් සෑම පුරවැසියෙකුටම නිවස හා ආයතනය අතර නිසි සබඳතාවක් ගොඩනැගීමට සහය වෙමින් සෑම පුද්ගලයෙකු වෙතම ඩිජිටල් පහසුකම් සැපයීමේ වගකීම පිළිබඳව ද හෙතෙම පැහැදිලි කළේය.