යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණය කැනේඩියානු සමාගමකට විකුණයි. සභාපතිවරයා දැක්වූ අදහස් මෙන්න!

    July, 31, 2014

    (දෙවන සංස්කරණය)- ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමීමට ගිවිසුමක් අත්සන් කර තිබේ.

    මෙම ගනුදෙනුව පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති හා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සභාපතිවරයා වන අජිට් ගුණවර්ධන මහතා කියා සිටියේ සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතු වලින් ඉතිරි සියයට 22 ක ප්‍රමාණය යුනියන් ඇෂුවරන්ස් යටතේ තබාගන්නා බවයි.

    “අපි බලාපොරොත්තු වන්නේ යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ සමාගම අප හා කැනේඩියානු සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි.“

    යනුවෙන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ මෙරට ක්‍රියාත්මක රක්ෂණ සමාගම් විසින් ජීවිත රක්ෂණ අංශය හා සාමාන්‍ය රක්ෂණ අංශය වෙන්කළ යුතුයැයි පනවා තිබෙන නියාමන රෙගුලාසි වලට අනුවයි.

    යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.5 ක් වනබව සඳහන්ය.

    ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) යනු කැනේඩියානු මූල්‍ය සේවා සමූහයක් වන ෆෙයාර් ෆැක්ස් ෆයිනෑන්ෂල් හොල්ඩින්ග්ස් ලිමිටඩ් (Fairfax Financial Holdings Limited) සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමකි.

    මෙම ගනුදෙනුව ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනබව යුනියන් ඇෂුවරන්ස් පවසා ඇත.

    යුනියන් ඇෂුවරන්ස් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමාගමේ ජීවිත රක්ෂණ අංශය තවදුරටත් සමාගම යටතේ පවත්වාගෙන යන බවයි.