යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණය කැනේඩියානු සමාගමක් අතට

    January, 2, 2015

    ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමූ බව ජෝන් කීල්ස් කියයි.

    මෙම ගනුදෙනුවට අදාළ ගිවිසුමට සමාගම එළඹුණේ පසුගිය ජූලි මාසයේදීයි.

    සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතු වලින් ඉතිරි සියයට 22 ක ප්‍රමාණය යුනියන් ඇෂුවරන්ස් යටතේ තබාගෙන ඇත.

    මෙම විකිණීම කර තිබෙන්නේ මෙරට ක්‍රියාත්මක රක්ෂණ සමාගම් විසින් ජීවිත රක්ෂණ අංශය හා සාමාන්‍ය රක්ෂණ අංශය වෙන්කළ යුතුයැයි පනවා තිබෙන නියාමන රෙගුලාසි වලට අනුවයි.

    යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.5 ක් වනබව සඳහන්ය.

    ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) යනු කැනේඩියානු මූල්‍ය සේවා සමූහයක් වන ෆෙයාර් ෆැක්ස් ෆයිනෑන්ෂල් හොල්ඩින්ග්ස් ලිමිටඩ් (Fairfax Financial Holdings Limited) සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමකි.

    යුනියන් ඇෂුවරන්ස් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමාගමේ ජීවිත රක්ෂණ අංශය තවදුරටත් සමාගම යටතේ පවත්වාගෙන යන බවයි.