යුනිසෙෆ් සහායෙන් ප‍්‍රධාන රෝහල්වලට කොවිඩ්-19 නිරෝධායන හා ප‍්‍රතිකාර ඒකක

    June, 10, 2020

    එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) කොරෝනා වයිරස් වසංගතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විට දරමින් සිටින පරිශ‍්‍රමයන්හි කොටසක් ලෙස දිවයිනේ විශේෂඥ රෝහල් තුනක කොවිඞ්-19 නිරෝධායන ඒකක අලූත්වැඩියා කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට (MOH) සහාය විය.

    මෙම නිරෝධායන ඒකක පිහිටුවන ලද්දේ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල තුළ ය. කොවිඞ්-19 රෝගීන් නිරෝධායනය කිරීම හා ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් සිදු කළ කඩිනම් තක්සේරුවක කොටසක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම රෝහල් හඳුනා ගන්නා ලදි.

    යුනිසෙෆ් සංවිධානය තාක්ෂණික විශේෂඥතාවෙන් දායක වූ අතර රුපියල් මිලියන 5කට ආසන්න අරමුදල්කරණය ජපාන රජයෙන් සිදු විය. ඉදි කිරීම් විශේෂඥතාව සහ අලූත්වැඩියාව සඳහා ශ‍්‍රමය ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්පාදනය කෙරිණ.
    මෙම මුල පිරීම පිළිබඳව කතා කරමින් යුනිසෙෆ් ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නියෝජිත එමා බි‍්‍රග්හැම් මහත්මිය මෙසේ පැවසුවා ය: “කොරෝනා වයිරස් වසංගතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා රජයට අපගේ සහාය අඛණ්ඩව ලබා දීම ඉතා වැදගත් වෙනවා. මේ රෝහල්වල විශේෂ නිරෝධායන හා ප‍්‍රතිකාර ඒකක පිහිටුවීම සඳහා අත්‍යවශ්‍යව තිබූ සහායන් ජපාන රජයෙන් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුණා. මෙය සැබවින් ම සහයෝගී පරිශ‍්‍රමයක්.”

    මෙම වැඩ කටයුතු අතරට ඇතුළත් වූයේ පවත්නා රෝහල් අවකාශ අලූත්වැඩියා කිරීම සහ ශ්වසන ආධාරක හා ධ්වනි පද්ධති සවි කිරීම, ආසාදනය වැළැක්වීම සඳහා ප‍්‍රමාණවත් පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂාව සඳහා ජලය හා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කිරීම, සමාජ ¥රස්ථ භාවය පිළිබඳ අවශ්‍යතාවන්ට අනුකූලව සැලැස්මක් ස්ථාපිත කිරීම යි.

    ඡායාරූපය - රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරෝධායන හා ප‍්‍රතිකාර ඒකකය විවෘත කිරීම
    වමේ සිට දකුණට: යුනිසෙෆ් ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නියෝජිත එමා බි‍්‍රග්හැම් මහත්මිය, යුනිසෙෆ් ශ‍්‍රී ලංකා ළමයින්ගේ අඛණ්ඩ පැවැත්ම හා සංවර්ධනය පිළිබඳ වැඩසටහනේ කළමනාකාරිනි වෛද්‍ය සෆිනා අබ්දුලෝවා මහත්මිය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ උපදේශන ළමා චිකිත්සක වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා, රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහතා, රිජ්වේ ආර්යා රෝහලේ ව්‍යාපෘති ඉංජිනේරු ශ‍්‍රී ලංකා නාවික හමුදා ලූතිනන් කේ.එස්. මාවුස්සාවල මහතා