යුරෝපයට කළ මත්ස්‍ය අපනයන සියයට 200 කින් ඉහළට

    January, 16, 2017

    2016 සැප්තැම්බර් මාසයේ දී මුහුදු ආහාර අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අපනයන වටිනාකම සහ පරිමාව යන දෙයාකාරයෙන්ම වර්ධනය වී තිබෙන අතර යුරෝපා සංගමය වෙත සිදු කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම, මුළු මුහුදු ආහාර අපනයන ආදායමෙන් සියයට 28.7 කට දායක වී ඇත.

    එසේම යුරෝපා සංගමය වෙත කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඛණ්ඩව දෙවැනි මාසයටත් සියයට 200කට වඩා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී.

    මේ අනුව 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වන මුහුදු ආහාර අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 12.3 ක් වන අතර එය 2015 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 10.00 හා සැසඳීමේ දී සියයට 22.8 ක වර්ධනයකි. තවද 2015 මුල් මාස 09 තුළ දී වාර්තා වූ ඩොලර් මිලියන 122.5 ක්වූ මුහුදු ආහාර අපනයන ආදායම, 2016 මුල් මාස 09 තුළ දී ඩොලර් මිලියන 123 දක්වා සියයට 0.4 කින් ඉහළ ගොස් තිබේ.