යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

    May, 16, 2019

    ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් පහත ප්‍රකාශය නිකුත් කෙරේ.

    පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අපි පිළිගනු ලබන අතර, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්නට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

    බොහෝ යුරෝපා අටවලට ද පසුගිය වසරවල දී ත්‍රස්තවාදී ප්‍රහාර සහ වෛරී අවරාධ අත්විඳීමට සිදුවිය. එවැනි සිදුවීම් මගින් ප්‍රජාව අතර ඇතිකෙරෙන හානිය මෙන්ම ඒ හරහා රටක සමාජ ස්ථරය තුළ අත්විඳිය හැකි දිගුකාලීන අතුරු ඵල කුමනාකාර ද යන්න අපි දනිමු.

    පැහැදිලි නායකත්වයක් මෙන්ම වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත්වන අතර සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලූම ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි ශ්‍රී ලංකා රජය දිරිමත් කරන්නෙමු.

    ප්‍රචණ්ඩත්වයට සහ සමාජ නොසන්සුන්තාව මෙන්ම අවිශ්වාසය පතුරුවන පිරිස්වලට එරෙහිව දිගින් දිගටම හඬ නගන ලෙසත්, ජනවර්ග අතර අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා ලෙසත් අපි සියලූම දේශපාලනික, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.
    වැරදි තොරතුරු පරතිරීම හරහා තවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මග පෑදීමෙන් වැළකීම සඳහා ජනමාධ්‍ය සඑ මෙරට පුරවැසියන් සතු වගකීම පිළිබඳව ද අපි අවධාරණය කරන්නෙමු.