යූරෝ මිලියන 15.7ක ජර්මන් ටෙක් පුහුණු ආයතනයක් මාතරට

    August, 28, 2019

    ගොඩනැඟිලි හා මෝටර් රථ අලුත්වැඩියාව සහ නඩත්තුව, ශීතකරණය සහ වායු සමීකරණ, ලෝහ හා සැහැල්ලු ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ, ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ආයතනික හා කාර්මික පුහුණුව මාතර සහ යාබද දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ට ලබා දීම අරමුණු කරගෙන, ජර්මානු රජයේ මූල්‍ය සහයෝගය ඇතිව රත්මලාන ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයට සමාන වෘත්තීය පුහුණු ආයතනයක් මාතර පිහිටුවීමට යෝජනා කර ඇත.

    අවශ්‍ය පුහුණු පහසුකම් හා උපකරණ සහිත එම පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා යුරෝ මිලියන 15.7ක මූල්‍ය ආධාර ජර්මනියේ KfW (Kerditanstalt Fur Weideraifbau) වෙතින් ලබා ගැනීමට සහ ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයට සමාන ස්වාධීන තත්ත්වයක් යෝජිත මාතර වෘත්තීය පුහුණු ආයතනයට මෙන් ම කිලිනොච්චියේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයට ලබා දීමට සහ පොදු වූ ආකාරයකට ජර්මානු කාර්මික පුහුණු ආයතන තුනම පාලනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අනුමතිය ලබා දීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.