යොවුන් නව නිර්මාණ අරමුදල ඇරඹීමට රු. මිලියන 100 ක්

    August, 13, 2018

    තරුණ දිනය වෙනුවෙන් ගමට කෝටියේ වැඩසටහන යටතේ 1,500 ක පිරිසකට මුදල් ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2018 ජාත්‍යන්තර තරුණ දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. මෙහිදී යොවුන් නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

    “මේ වැඩසටහන තවත් ශක්තිමත් කරන්න අපි ඉන්නේ. ගමේ වැඩකටයුතු භාර ගන්න. ඔබේ ශ්‍රමය යොදවන්න. ඔබේ ශක්තිය යොදවන්න. ඔබේ නායකත්වය පෙන්වන්න. ඒ සඳහා අපි මේ අරමුදල් ලබලා දෙනවා. තාක්ෂණ අංශයෙන් විද්‍යා අංශයෙන් නව නිර්මාණ ගණනාවක් මෙහිදී දැක්කා. ඒ අයටත් ලොකුම ප්‍රශ්නය තිබෙන්නේ මුදල්. මේ අවුරුද්දේ යොවුන් නව නිර්මාණ අරමුදල ආරම්භ කරනවා. රුපියල් මිලියන 100 කින්. තරුණ නව නිර්මාණවලට අපෙනුත් ආධාර කොටසක් දෙන්න හොඳම නව නිර්මාණවලට. අත්හදා බැලීමට තියෙන්නේ මිලියන 100 යි.“

    “හොඳ ව්‍යාපෘති ලැබෙනවා නම් ලංකාවට රටක් හැටියට අනාගතයක් තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනං අපිටත් පුළුවන් අරමුදල වැඩිකරන්න. අද මේ වගකීම භාරගත්ත, මේ තරුණ නායකත්වයට මම විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා.“