යෝජිත බංග්ලාදේශ වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කෙරේ

    February, 28, 2023

    කලාපීය මට්ටමේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම මඟින් වෙළෙඳපොළ බාධක ඉවත් කර ශ්‍රී ලාංකීය අපනයනකරුවන් සඳහා වෙළෙඳපොළ ප්‍රවේශයට පවතින අවස්ථා වර්ධනය කිරීම, දේශීය සැපයුම් සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පිළියම් වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික සහයෝගිතාව වඩා ඉහළ නංවා ගැනීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරනු ලබයි.
    එයට සමගාමීව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා 2021.06.14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
    බංග්ලාදේශය සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම මඟින් දැනටමත් පවතින වෙළෙඳ ගිවිසුම් අභිබවා ද්වීපාර්ශ්වීය වෙළෙඳාම තවදුරටත් ඉහළ නැංවිය හැකි බවට හඳුනාගනු ලැබ තිබේ.
    ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ මෙහෙයවීම මත බංග්ලාදේශය සමඟ යෝජිත වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.