රජයේ දේශීය ණය තොගය දැවැන්ත ලෙස ඉහළට

    June, 8, 2015

    රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබෙන අතර පසුගිය බදාදා වනවිට පසුගිය වසරේ අදාළ කාලයේ ලබාගත් දේශීය ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බව නවතම දත්ත හෙළිකරයි.

    පසුගිය බදාදා දක්වා මේ වසර තුළදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින් රුපියල් බිලියන 378.3 ක ණය ලබාගෙන තිබෙන අතර පසුගිය වසරේ අදාළ කාල සීමාවේදී ලබාගෙන තිබුණේ රුපියල් බිලියන 259.8 ක ණය මුදලක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    රජය විසින් අතුරු අයවැය මගින් විවිධ බදු වර්ග ඇති කළත් පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම නිසා ඒවා සම්මත කර ගැනීමට මේ දක්වා නොහැකි වී තිබේ.

    සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් හි, පරීක්ෂණ ප්‍රධානී, ධනුෂ්ක සමරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙන්නේ සැලසුම් කර තිබූ පරිදි අමතර බදු ආදායම් රජයට ලැබී නොමැති නිසා දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය වැඩි කිරීමට හේතුවී තිබෙන බවයි.

    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 850 ක සිට රුපියල් බිලියන 1250 ක් දක්වා රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා රජය පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටියද එය නොලැබුණි.