රජයේ බදු ආදායම හා 2020 දී ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොරවීම

    March, 17, 2016

    2020 වසර වන විට ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කියැවුණේ මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

    කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත වැඩසටහනක් මෙතෙක් හෙළිදරව් වී නොමැත. මෙම ඉලක්කය කරා යාමේ දී මුහුණ පෑමට සිදුවන අභියෝග ගණනාවකි.

    මෙහිදී ප්‍රධානතම අභියෝගය වන්නේ රජයට ලැබෙන බදු ආදායමයි. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් ඇත්තේ ඒකාධිකාරියකි. ලංකා දුම්කොළ සමාගම එහි එකම තරඟකරුවාය. මෙරට ලැයිස්තුගත සමාගම්වලින් රජයට විශාලතම බදු ආදායමක් ගෙන දෙන තනි සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. 2015 වසරේ දී පමණක් ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සම්පූර්ණ බදු ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් බිලියන 91.6 කි. ඒ තුළ රුපියල් බිලියන 3.8 ක සුපිරි වාසි බද්දක් ද ඇතුළත් වේ.

    මීට අමතරව 2014 වසරේ දී රුපියල් බිලියන 73.6 ක් සහ 2013 වසරේ දී රුපියල් බිලියන 76.5 ක් වශයෙන් රජයට ආදායම් බදු ගෙවීමට ද ලංකා දුම්කොළ සමාගම කටයුතු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී වෙළෙඳපොළ විශ්ලේෂකයෙකු මෙසේ කියා සිටියේය. “ලංකාවේ දුම්වැටි වෙළෙඳපොළෙන් 43% ක්ම තිබෙන්නේ බීඩි. නීත්‍යානුකූල දුම්වැටි තිබෙන්නේ 57% ක් පමණයි. 2020 වන විට බීඩි සහ සිගරට් දෙවර්ගයම ලංකාවෙන් තුරන් කරනවාද කියා රජය පැහැදිලිව කියා නැහැ. දුම්කොළ සමාගම, සිය ආයතනික සමාජ සත්කාරක වැඩිපිළිවෙල හරහා දුම්කොළ වගා කරන ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මීට අමතරව පසුගිය වසරේ දී අයකළ සුපිරි වාසි බද්ද පැනවීමට පෙර සිය කොටසක ඉපැයුමෙන් 99% ක්ම ලාභාංශ ලෙසින් කොටස්කරුවන් වෙත බෙදා දීමට සමාගම පියවර ගනු ලැබුවා. මේ තත්ත්වය තුළ සමාගමේ කොටස් හිමියන් සහ ගොවීන් යන දෙපාර්ශවයම තෘප්තිමත් වී සිටිනවා.“

    “රජයේ ආදායමෙන් 7% ක් ලබා දෙන්නේ දුම්කොළ සමාගමයි. දුම්කොළ නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් තුරන් කරනවා නම්, එයින් ලැබෙන ආදායම ප්‍රතිපූර්ණ කරගන්නා ආදේශක මොනවාද යන්න රජය අනාවරණය කළ යුතුයි.“ යනුවෙන් ඔහු අවසාන වශයෙන් පැවසීය.

    අනෙක් අතට පසුගිය කාලාන්තරයක් පුරාවට දුම්වැටි මිල ගණන් ඉහළ දැමීමට රජය විසින් පියවර ගනු ලැබූවද එය සාධනීය ප්‍රතිඵල ලබා දී ඇතිදැයි යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. මක් නිසාද දුම්වැටි මිල ඉහළ යාම සමගම දුම්කොළ සමාගමේ ආදායම, ලාභ හා රජයේ ආදායම අතර ධනාත්මක සහසම්බන්ධතාවක් දකින්නට ලැබෙන බැවිනි. මේ නිසා දුම්වැටි මිල ගණන් ඉහළ නැංවීම දුම්පානය අධෛර්යයමත් කිරීමට තවදුරටත් වලංගු සාධකයක් නොවනු ඇත.