February, 23, 2022
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සිදුව ඇති මුදල් අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදුකරන ලදී.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ හේතුවෙන් රු. මිලියන 64.17 ක මූල්‍ය පාඩුවක් බැංකුවට සිදුව ඇති බවයි.
වර්ෂ 2015 සිට 2019 දක්වා රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුව ඇත්දැයි යනුවෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයට ප්‍රතිචාර ලෙස ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස සවිස්තරාත්මක කරුණු දැක්වීමක් සිදුකළේය.
2006 සැප්තැම්බර් 01 දින සිට 2017 මාර්තු 31 දක්වා වූ කාලය තුළ දී බැංකුව විසින් ඒ ඇන්ඩ් ඩේටා සොලියුෂන්ස් සහ මාස්ටර් පැකේජින් ප්‍රයිවට් ලිමිටඩ් යන ව්‍යාජ නම්වලින් හඳුන්වා දුන් ආයතන දෙකක සේවකයන් 47 දෙනෙකු වෙත ණය ලිපිගොනු 48 ක් වෙනුවෙන් ණය ලබාදී ඇත.
තවද 2017 මාර්තු 30 දින සිට 2017 අප්‍රේල් 30 දින දක්වා කාලසීමාවේ දී ඔටොටෙක් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයේ සේවකයන් යැයි හඳුන්වා දුන් පුද්ගලයන් දෙදෙනෙකු වෙත රු. මිලියන 2.75 ක මුදලක් මුදා හැර ඇත.
මෙම මුදල් ලබා ගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු, ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව බව පසුව අනාවරණය වී ඉන්පසුව අදාළ ණය මුදල් නිර්දේශ කළ සහ නිදහස් කළ බැංකු නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කරන ලදී.
අදාළ ණය මුදල් ලබා ගන්නා ලද ව්‍යාජ මූල්‍ය සමාගම්, ව්‍යාපාරික ආයතන පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.
ඒ ඇන්ඩ් ඩී ඩේටා සොලියුෂන්ස් - මුදා හැර ඇති ණය මුදල් රු. මිලියන 64.04 යි. මුදාහැර ඇති ලිපිගොනු සංඛ්‍යාව 44යි. 2021.12.31 දිනට පියවා ඇති මුළු මුදල පොළිය රහිතව රු. මිලියන 5.25 යි.
මාස්ටර් පැකේජින් ප්‍රයිවට් ලිමිටඩ් - මුදාහැර ඇති ලිපිගොනු ගණන 4යි. මුදාහැරි ණය මුදල මිලියන 4.3 යි. දැනට අයකර ගෙන ඇති ණය මුදල පොළිය රහිතව රු. මිලියන 1.68 යි.
ඔටෝටෙක් ප්‍රයිවට් ලිමිටඩ් - ලිපිගොනු සංඛ්‍යාව 2 යි. මුදාහැර ඇති ණය ප්‍රමාණය රු. මිලියන 2.75 යි. දැනට පියවා ඇති ණය මුදල පොළිය රහිතව රු. මිලියන 0.78 යි.
ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් බැංකුවට අහිමි වී ඇති මූල්‍ය වටිනාකම රු. මිලියන 64.17 කි.
චූදිත නිලධාරීන් 16 දෙනෙකුට එරෙහිව විධිමත් මූලික පරීක්ෂණ 20 ක් පවත්වා ඇත.
2022 පෙබරවාරි 01 දිනට මූලික විමර්ෂන 14 ක් පවත්වා අවසන් කර ඇති අතර තවද චූදිත නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව මූලික විමර්ෂන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත. මූලික විමර්ෂන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. නිලධාරීන් 7 දෙනෙකුගේ සේවා තනතුරු පහත දමා ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
2017 ඔක්තෝබර් මස 16 දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමා ඇත.
තවද මෙම සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 2017 නොවැම්බර් මස 17 දින නඩු අංක බී/8255/18 යටතේ චූදිත බැංකු නිලධාරීන්ට සහ හඳුනාගත් එක් බාහිර පුද්ගලයෙකුට නඩුවක් ගොනුකර ඇත.
චූදිත සියලුම නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ෂන කටයුතු අවසන් වීමෙන් පසු විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ඉදිරියේ දී මෙවැනි වංචාවන් සිදුනොවීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත.
Video Story