September, 23, 2026
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාරික උත්සව සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.
2021 වසරේ ආරම්භ වූ SL MICE Expo මේ වන විට ශ්‍රී ලංකාවේ MICE කර්මාන්තය සහ ලොව පුරා සිටින ජාත්‍යන්තර ගැනුම්කරුවන්, මාධ්‍ය ආයතන සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් සම්බන්ධ කරන ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව කුඩා භූගෝලීය ප්‍රදේශයක් තුළ ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය, නවීන ව්‍යාපාරික පහසුකම් සහ විවිධ සංචාරක අත්දැකීම් රැසක් ලබාදීම MICE ගමනාන්තයක් ලෙස ඇති ප්‍රධාන ශක්තියකි. වෙරළ තීර, ඓතිහාසික නගර, වනජීවී අභයභූමි, කඳුකර තේ වතු සහ සංස්කෘතික ස්ථාන ආදී අත්දැකීම් MICE වැඩසටහන් හා පෙර සහ පසු සංචාර සඳහා එක්කර ගත හැකිය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, MICE ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා වැදගත් බලවේගයක් ලෙස රජය සලකන බවයි. ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ මාධ්‍ය නියෝජිතයන් හමුවේ ශ්‍රී ලංකාවේ MICE හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට SL MICE Expo 2026 වැදගත් වේදිකාවක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රටවල් 27කින් 120කට අධික Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වය ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර MICE කර්මාන්තයේ ඇති වැඩිවන උනන්දුව පිළිබිඹු කරන බවයි. එම සහභාගීත්වය ශ්‍රී ලංකාවේ MICE කර්මාන්තයට ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා සහ නව හවුල්කාරීත්වයන් ගොඩනඟා ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
SL MICE Expo 2026 තුළ වර්තමාන MICE කර්මාන්ත ප්‍රවණතා හා අවස්ථා පිළිබඳ ව්‍යාපාරික සංසදයක්, ප්‍රධාන දේශකයන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක සැසියක්, ජාත්‍යන්තර Hosted Buyers සහ ශ්‍රී ලංකාවේ MICE සේවා සපයන්නන් අතර B2B ව්‍යාපාරික හමුවීම්, ජාලගත වැඩසටහන් සහ විවිධ ගමනාන්ත අත්දැකීම් ඇතුළත් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ MICE හැකියාවන් සහ සංචාරක ගමනාන්ත පිළිබඳ සෘජු අත්දැකීමක් ලබාදීම සඳහා Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් වෙනුවෙන් විශේෂ හඳුනාගැනීමේ (Familiarization) වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.
SL MICE Expo 2026 හරහා ශ්‍රී ලංකාවේ MICE සේවා සපයන්නන්ට ලොව ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළවල තීරණ ගන්නන් සහ බලපෑම් සහිත මාධ්‍ය නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන අතර, නව ව්‍යාපාරික අවස්ථා, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් සහ අනාගත සම්මන්ත්‍රණ, ව්‍යාපාරික රැස්වීම් හා Incentive Travel ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටද අපේක්ෂා කෙරේ.


Video Story