රටවිරුවන් ඩොලර් එවීම තවදුරටත් අඩුකරයි

    February, 28, 2022

    වසර 13ක් තුළ රට ගිය ඇත්තන්ගෙන් ලැබුණු අඩුම ඩොලර් ප්‍රමාණය 2022 ජනවාරියේ දී

    පසුගිය වසර 13 ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද අඩුම ප්‍රේෂණ වටිනාකම පසුගිය 2022 ජනවාරි මාසයේ දී වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට ගලා ඇවිත් තිබෙන විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 259.2 ක් වේ.

    කෙසේවෙතත් 2021 ජනවාරි මාසයේ දී ලද ඩොලර් මිලියන 645.3 ක ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 61.6% ක පහළ යාමක් වේ.

    රුපියල් වටිනාකම අනුව 2022 ජනවාරි මාසයේ අගය රු. බිලියන 52.2 ක් වන එය 2021 ජනවාරියේ දී ලද රු. බිලියන 128.6 ක් වූ විදෙස් ප්‍රේෂණ වටිනාකමට වඩා 59.4% ක පහළ යාමකි.

    2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් වූ අතර එය  2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබීම්  හා සැසඳීමේ දී 60% ක අඩුවීමකි.

    තවද සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් දක්වා ඩොලර් මිලියන 1,613 කින් හෙවත්  22.7% කින් පහළ ගොස් තිබේ.

    මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන්ම රු. 240ක මුදලක් ලබා දෙන මෙන් තමන් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පසුගිය පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.