රටින් පිටතට විදේශ විනිමය ගලා යාමට හේතු වන ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධ සීමා තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

    December, 1, 2020

    විදේශ විනිමය රටින් පිටතට ගලා යාමට හේතු වන ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් සීමා පැනවීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මාස 06ක කාලයකට වලංගු වන පරිදි නියමයක් නිකුත් කිරීම සඳහා 2020 ජුනි මස 24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
    ඒ අනුව, 2020 ජූලි මස 02 දිනැති ගැසට් නිවේදනය මඟින් එකී නියමය පනවා ඇති අතර, එහි වලංගු කාල සීමාව 2021 ජනවාරි මස 01 දිනෙන් ඉකුත් වීමට නියමිත ය.
    එකී නියමය තවත් මාස 06ක කාල සීමාවකට දීර්ඝ කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
    ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.