රට ඇතුලේ උඩින් යන අයට ටිකට් වියදමෙන් 50% ක් රජයෙන් ගෙවනවා – රාජ්‍ය ඇමති කියයි 

    July, 29, 2019

    මේ වන විට රජය විසින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ප්‍රචලිත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඒ අනුව අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ගෙන් ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තුවෙන් 50% ක් රජයෙන් ගෙවීමේ වැඩපිළිවෙලක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

    “1986 න් පසු ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කරලා තිබුණේ නැහැ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අපේ රටට දැනුම් දීලා තිබුණා 2018 න් පස්සේ අපේ රටේ ධාවන පථයට ගුවන් යානා ගොඩබස්වන්න දෙන්නේ නැහැ. ධාවන පථය හොඳ නැහැ කියලා. ගුවන් ධාවන පථයක් අවුරුදු 15 න් 15ට නවීකරණය කරන්න ඕනේ. 86න් පසු අපේ ධාවන පථය නවීකරණය කරලා තිබ්බේ නැහැ. පසුගිය රජය මේ සඳහා ඩොලර් මිලියන 80 ක් වෙන් කරන්න තීන්දු කරලා තිබුණා. නමුත් අපි 2015 ජනවාරි 08 වනදායින් පසු අපේ රජය බලයට පත්වෙලා ඩොලර් මිලියන 50 කින් එම කාර්ය නිම කරලා දැන් අලුත්ම ධාවන පථයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තියෙනවා. දැන් ලෝකයේ විශාලම ගුවන් යානය A-380 ගුවන් යානය ගොඩ බැස්වීමට හැකිවන විදියට අපි එය සකස් කරලා තියෙනවා.“

    “ඒ වගේම ලංකාවේ අභ්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ වැඩසටහන ඔස්සේ මඩකළපුව ගුවන්තොටුපළ සිවිල් ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ගුවන් හමුදාව වෙනම කොටසකත්, සිවිල් ගුවන්තොටුපළ වෙනම කොටසකත් වෙන විදියට අපි සකස් කරලා, අලුත් ගොඩනැගිලි සකස් කරලා පසුගිය වසරේ අපි විවෘත කළා.“

    “පසුගිය සතියේ පලාලි ගුවන් තොටුපළ කලාපීය අන්තර්ජාතික ගුවන්තොටුපළක් බවට පත් කරන්න අපි මුල් ගල තිබ්බා. අගෝස්තු මාසයේ 31 වෙනිදා එය අවසන් කරනවා. සැප්තැම්බර් මාසය වෙද්දී ඉන්දියාවේ සිට ගුවන් යානයක් පලාලි ගුවන් තොටුපළට ගෙන්වීම සඳහා වැඩපිළිවෙල සකස් කරනවා.ඒ වගේම එය කලාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට නවීකරණය කරන්න රුපියල් බිලියන 2ක මුදලක් අපි වෙන්කරලා තියෙනවා. දැන් වැඩකටයුතු ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යනවා.“

    “ඒ වගේම රටේ අභ්‍යන්තර ගුවන් තොටුපළ 15ක් තියෙනවා. අභ්‍යන්තර ගුවන්තොටුපළ තුළ රටේ සාමාන්‍ය ජනතාවට, නිවාඩු කාලයේ තමන්ගේ දරුවන් එක්ක රට තුළ ගුවන් යානයකින් ගමන් කිරීමේ හැකියාව ඇති කිරීම සඳහා විශේෂයෙන්ම රත්මලාන ගුවන් තොටුපළ සිට මත්තල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පලාලි, සීගිරිය, පුත්තලම වැනි ගුවන් තොටුපළවල් නවීකරණය කරමින් අභ්‍යන්තර ගුවන්තොටුපළවල ගුවන් යානා හැසිරවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.“

    “අතීතයේ දී තිබුණා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර කිහිපයක් එකතු කරලා ගුවන් යානා ටිකට් පතක් ලබා ගැනීමේ හැකියාව. ඒ පිළිබඳව අපි සොයා බලනවා. ඒ වගේම මෙය ප්‍රචලිත කිරීම සඳහා වසරක් තුළ ගුවන් යානයේ ටිකට් පතේ මිල 50% ක් රජයෙන් දරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා.“