රට ගැන තෘප්තිමත් 4% යි – සමීක්ෂණයක් කියයි

    February, 20, 2023

    • රට යන අත ගැන ජනතාව තවත් කළකිරේ!
    • ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබුණ තැනම!

    වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2023 පෙබරවාරි ප්‍රතිඵල

    වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින මුත්, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාවගේ තෘප්තිය එම මාසයේ පැවති අගයෙන් තවදුරටත් පහතට වැටී තිබේ.

    රට හිතන හැටි ජනමත විමසුමේ 2022 ඔක්තෝබර් මස ප්‍රතිඵලවලින්, ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බව රටේ වැඩිහිටි ජනගහණයෙන් 10%ක ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්කර තිබුණු අතර, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් වන බවට ප්‍රකාශ කර තිබුණේ රටේ වැඩිහිටි ජනගහණයෙන් 7%ක ප්‍රතිශතයකි.

    මෙවර ප්‍රතිඵලවලට අනුව, ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන අනුමැතිය පෙර පැවති 10%ක (වැරදි ආභිතය ± 2.04%) අගයේම පවතින මුත්, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාවගේ තෘප්තිමත්භාවය 7%ක අගයේ සිට 4%ක අගයක් (වැරදි ආභිතය ± 1.50%) දක්වා පහතට වැටී ඇත.

    ආණ්ඩුවේ වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 10%ක් යනු ඉතා පහළ අගයකි.

    වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පෙර පැවති හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වූ ආණ්ඩු සමයේ ද සිදුකරන ලද මෙම සමීක්ෂණයේ දී, 2022 ජූනි මාසය සඳහා ලැබුණු අගයන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 3%ක් ලෙසත් සහ රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිය 2%ක් ලෙසත් විය.

    මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙණ අතර,, පෙබරවාරි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 78.4ක (-78.4) ලෙසය (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත.

    මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

    ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ. රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2023 පෙබරවාරි මාසය වන ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.3% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 6.0%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම තවත් 6.3%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 78.4ක (-78.4) අගයකි (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී (-) 78 ක් සහ 2022 ජුනි මාසයේදී (-) 96 ක් විය.

    Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1000ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.