රට ගොස් නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අය විය යුතු රු. බිලියන 2ක් ඇපකරුවන්ට ගෙවන්න වෙන ලකුණු

    May, 3, 2023

    උසස් අධ්‍යාපනය සදහා වි‍දේශගතව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පසුගිය අප්‍රේල් 28 වැනිදා රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ දී (කොප් කමිටුව) අනාවරණය වී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කොප් කමිටුව) රැස් වූ අතර මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට කැඳවා තිබිණි.

    මෙලෙස අයවිය යුතු රු. බිලියන 2කට ආසන්න මුදල අදාළ ඇපකරුවන්ගෙන් හෝ අයකර ගැනීමට කටයුතු කළයුතු බව කමිටු සාමාජික මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී තිබේ.

    මෙසේ විදෙස්ගතවූ ආචාර්යවරු 617 ක පිරිසකගෙන් 84 ක් පමණක් මේවන විට අදාල ගෙවීම් සිදුකර ඇති බව ද මෙහිදී හෙළි වී ඇත.

    ඒ අනුව මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මසක් තුළ කොප් කමිටුව දැනුවත් කරන ලෙස කමිටුව විසින් නිර්දේශ කරන ලදී.