රට දිනවන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අභියෝගය භාරගන්නවා

    December, 26, 2018

    අමාත්‍ය ධූරයේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි

    ශ්‍රී ලංකාවාසී සියළුම දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තවදුරටත් තමන් නායකත්වය ලබාදෙන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස අද (26) පෙරවරුවේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    මහා සංඝරත්නයේ ආශීර්වාද මැද කොළඹ කොටුවේ අමාත්‍යංශ කාර්යාලයේදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩභාර ගත් අතර එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී විය.

    මෙහිදී, අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පසුගිය කාලයේදීත් තමා දායකත්වය ලබාදුන් බවත් එහිදී විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බවයි.

    සෞඛ්‍ය, අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක ප්‍රතිසංස්කරණ මෙරටට හඳුන්වාදීම ඉතාමත් වැදගත් බවත් ඒ වෙනුවෙන් විරුද්ධ අදහස් දක්වන පිරිස් සමග බුද්ධිමය සංවාදයේ යෙදීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ  අභියෝගය තමන් භාරගන්නා බවයි.