රත්‍රන් ආනයන බිමට වැටේ. මෙන්න! අපේ විදේශ වෙළඳාමේ තතු

    July, 14, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය මැයි මාසයේ මෙරට අපනයන ආදායම් වර්ධනය වී ආනයන වියදම් අඩුවූ නිසා වෙළඳ හිඟය (Trade Deficit) තවදුරටත් අඩුවී තිබෙන බවයි.

    ආනයන වියදම් අඩුවීමට බොරතෙල්, රත්‍රන් හා දියමන්ති ආනයන අඩුවීම හේතුවී තිබෙන අතර මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට ඒවා තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය සහ සංචාරක ආදායම් වැඩිවී තිබේ.

    මේ නිසා, ගෙවුම් ශේෂයේ ( Balance of Payments) හොඳ අතිරික්තයක් මේ වසරේ මුල් මාස පහ තුළ ඇතැයි මහ බැංකුව පවසා ඇත.

    පසුගිය මැයි මාසයේදී අපනයන ආදායම් ගිය වසරේ මැයි මාසය සමග සැසඳීමේදී සියයට 11.1 කින් ඩොලර් මිලියන 882 ක් දක්වා වැඩි වෙද්දී ආනයන සඳහා කළ වියදම සියයට 17.6 කින් ඩොලර් මිලියන 1275 ක් දක්වා අඩුවී තිබේ. මේ නිසා, පිට පිටම අටවන මාසයටත් මෙරට වෙළඳ හිඟය (Trade Deficit) අඩුවෙමින් මැයි මාසයේදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 393 ක වෙළඳ හිඟයකි.

    මේ වසරේ මුල් මාස පහ තුළ සමස්ත වෙළඳ හිඟය (Trade Deficit) ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 19.3 කින් පහළ ගොස් ඇත.

    අපනයන වැඩ පෙන්වූ හැටි

    මැයි මාසයේ අපනයන ආදායම් වර්ධනය වීමට සෑම ප්‍රධාන අංශයකම පාහේ අපනයන ආදායම් වර්ධනය වීම හේතුවී තිබේ.

    මෙහිදී, කාර්මික අපනයන වැඩිම දායකත්වයක්ද, කෘෂි කාර්මික අපනයන දෙවනුවටද දායකත්වය දක්වා ඇත. මෙහිදී, ඇඟලුම් අපනයන, ටයර් ඇතුළු රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය වී තිබීම කැපී පෙනේ.

    කෘෂි කාර්මික අපනයන ගත්විට තේ හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය වී ඇත. මැයි මාසයේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 91.3 කින් වර්ධනය වී ඩොලර් මිලියන 30 ක් උපයාගෙන තිබෙන්නේ පොල් වගාව සඳහා දේශගුණය යහපත්වීම නිසාය.