රන් මිල පහළට

    April, 6, 2022

    කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (06) දින වාර්තා වී තිබේ.

    ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 175,800 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 190,000 ක් ලෙසින් සටහන්ව ඇත.

    පසුගිය සතියේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

    කෙසේවෙතත් එම මිල ගණන්වලට ද අලෙවිය සඳහා රත්‍රං නොමැති බව බොහෝ වෙළෙඳසැළ්වලින් කළ විමසීම්වල දී අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යාම, වෙළෙඳපොළේ හිඟයක් නිර්මාණය කරමින් කෘතිමව සිදුවූ දෙයක් බවයි. එම මිල ගණන්වලට මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළ බලවේග අනුව මිල පහළ යාමක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.