රනිල්-මෝදි සමග “සෙපා“ යළි මතුවේ. චීන නිදහස් වෙළඳ ගිවිසුමට අබ සරණද ?

    March, 14, 2015

    සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක් දක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.

    ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෙපා ගිවිසුම සම්බන්ධයෙන් ලංකාව බියට පත්විය යුතු නැති බවත් මෙම ගිවිසුම මගින් දෙරටටම ප්‍රතිලාභ අත්වනු ඇති බවයි.

    මේ නිසා, විශ්වාසදායී ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිටත් නිදහස් වෙළඳ ගිවිසුමක් තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවේ 2000 වසරේදීයි.

    මෙම ගිවිසුම තවත් පුළුල් කරමින් දෙරට අතර සේවා අංශයද විවෘත කරමින් සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව 2003 වසරේදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ අතල් බිහාරි වජ්පායි මහතාගේ ප්‍රමුඛත්වයෙන් සංවාදයක් ඇතිවිය.

    මෙම සංවාදය කිරීම සඳහා දෙරට විසින් විද්වත් කණ්ඩායම් දෙකක් පත්කළ අතර මෙරට කණ්ඩායමේ නායකත්වය කෙන් බාලෙන්ද්‍රන් මහතා දරද්දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ එවක රිසර්ව් බැංකුවේ ප්‍රධානී රකේෂ් මොහාන් මහතායි.


    ලංකාවේ ආණ්ඩු පෙරළිය, චීන නිදහස් වෙළඳ ගිවිසුම සහ සෙපා

    ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළි හමුවේ සෙපා ගිවිසුම යටගිය අතර පසුගිය රජය විසින් චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු සකස් කළේය.

    සෙපා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට ඇතිවී තිබූ සමාජ කතිකාව තරම් කථිකාවක් චීන නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මතු නොවීම කණගාටුවට කරුණකි.

    එහි අඩු ලුහුඬුකම් පිළිබඳව විද්වත් සමාජයට පවා අදහසක් ලබාගැනීමට තරම්වත් කාලයක් ලබා නොදී එය අත්සන් කිරීමට පසුගිය රජය උනන්දුවක් දැක්වීය.

    රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යවරයා වීමත් සමග දැන් කරළියට පැමිණ තිබෙන්නේ සෙපා ගිවිසුමයි. චීන නිදහස් වෙළඳ ගිවිසුම යට ගොස් තිබේ.

    ඉන්දියාව සහ චීනය ලංකාවට ඇති උනන්දුව

    මෙම ගිවිසුම් දෙක ඉදිරියට ගෙන යාමට ඒ ඒ රටවලට තිබෙන දැඩි වුවමනාව මගින්ද පෙනෙන්නේ උපාය මාර්ගික වශයෙන් ලංකාව තුළ සිය අධිපත්‍ය පැතිරවීමට චීනය සහ ඉන්දියාවට තිබෙන උනන්දුවයි.

    චීනය ආධිපත්‍යය පතුරුවන විට ඉන්දියාව පීඩනයට පත්වන අතර ඉන්දියාවට වාරය පැමිණෙන විට චීනය පීඩනයට පත්වේ. ප්‍රායෝගික දේශපාලන සත්‍ය වන්නේ එයයි.


    සෙපා ගිවිසුමට එරෙහි විරෝධතා

    සෙපා ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධ වූ පාර්ශවයන් අතර දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ලංකා පදනම යන සංවිධාන ප්‍රමුඛව කටයුතු කළේය.

    ඔවුන් තර්ක කළේ දැවැන්ත වෙළඳ පොළක් හිමි ඉන්දියාවට ලංකාවේ සේවා අංශයද විවෘත කිරීම තුළින් ලංකාවට දැඩි අහිතකර බලපෑමක් ඇති වනු ඇති බවයි.

    මෙම ගිවිසුමේ සේවා නිදහස් කිරීමට අනුව ඉන්දියාව සේවා අංශ 80 ක් පමණ නිදහස් කිරීමට එකඟ වී තිබූ අතර ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සේවා අංශ 20 ක් පමණ නිදහස් කිරීමට එකඟ වී තිබුණි.

    කෙසේවෙතත්, මෙය කරුණු හරිහැටි අවබෝධ කර නොගෙන එල්ල කරන පුහු විරෝධයක් බවත් මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් ලංකාවට ලෝකයේ දැවැන්තම වෙළඳ පොළක් විවෘත වනු ඇති බවත් නැගෙන තවත් විද්වත් මතයකි.

    මේ නිසා, සෙපා ගිවිසුම අත්සන් කිරීම මගින් ලංකාවට පුළුල් වාසි අත්කර ගතහැකි යැයි ඔවුන්ගේ මතයයි.


    වටින්නේ නිවැරදි දේ කිරීමයි

    පවතින තත්ත්වය අනුව සෙපා ගිවිසුම ඉදිරියට රැගෙන යාමට වැඩි අවස්ථාවක් තිබේ. සෙපා වුවත් චීන නිදහස් වෙළඳ ගිවිසුම වුවත් අවශ්‍ය වන්නේ රටට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ගිවිසුමකට එළඹීම මිස රටක බලයට පීඩනයට යටවී ඔවුන් ඉල්ලන ගිවිසුම් වලට එළඹීම නොවේ.

    විරෝධතා තිබුණත් සෙපා හොඳ නම් එය අත්සන් කිරීමේ වරදක් නොමැත. නමුත්, එයට පෙර ගිවිසුමේ දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳව ගැඹුරෙන් හැදෑරීම සහ සමාජය තුළ පුළුල් කථිකාවක් නිර්මාණය කිරීම වැදගත් වේ. සෙපා රටට අහිතකර නම් මෝදි උනන්දු වූවාට එය අත්සන් කළ යුතු නැත.

    මෙය චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමටද අදාළය.