රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය ‘අනිකා‘ ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්න

    October, 18, 2017

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) දින රැස් වූ අවස්ථාවේ දී එහි නිලධාරීන් විනිසුරු මඩුල්ල වෙත අනාවරණය කර සිටියේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයෙක් විසින් අනිකා විජේසූරිය මහත්මියට සිදුකළ තර්ජන හේතුවෙන් ඇය ජීවිතාරක්ෂාව පතා රටින් පිටව ඇති බවයි.

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින්, කොළඹ 03 මොනාක් මහල් නිවාස සංකීර්ණයේ වූ තමන්ට අයත් අධිසුඛෝපභෝගී නිවාස ඒකකයක්  කුළී පදනම මත තමාගෙන් ලබා ගෙන එය රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ වෙත ලබා දීමට කටයුතු සිදුකර ඇති බව අනිකා විජේසූරිය බැඳුම්කර කොමිසම හමුවේ දී පූර්වයේ අනාවරණය කර සිටියාය. පසුව රවී කරුණානායක අමාත්‍යවරයා ඇතුළු සිය පවුල එහි වාසය කර ඇති අතර ඉන්පසු මුදල් ගෙවා සින්නක්කරවම එය මිල දී ගෙන තිබුණි.

    අනිකා විජේසූරියට එල්ල වූ ජීවිත තර්ජනය පිළිබඳ පුවත සැලවීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී විශේෂ ගනුදෙනුවක් ඊයේ උදෑසනම දැකගන්නට විය. ඒ තමා, තම පියා සහ සොහොයුරන් දෙදෙනා අධ්‍යක්ෂවරුන් වන East West ප්‍රොපටීස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේෂන් සමාගමට අයත්ව තිබුණු කොටස් 88,345,235 ක් ඊයේ පෙරවරුවේ දීම විකුණා දැමීමයි. ඊයේ සවස් වනතුරුත් මෙම ගනුදෙනුවේ සැබෑ තතු අනාවරණය නොවී තිබුණු අතර සවස් භාගයේ දී East West ප්‍රොපටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ නිශාන්ත සූරියාරච්චි විසින් මෙම ගනුදෙනුවේ සියලු තොරතුරු කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සැල කර සිටියේය.

    ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් යනු අනිකා විජේසූරියගේ පියා වන නහීල් විජේසූරියගේ ආයෝජන හස්තයකි. East West ප්‍රොපටීස් පීඑල්සී හි සභාපතිවරයා වන නහීල් විජේසූරිය මහතා ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේෂන් සමාගමේ එකම කොටස්කරුවා මෙන්ම එකම අධ්‍යක්ෂවරයා ද වේ. එනම් අද දින අලෙවි වුණු කොටස් ප්‍රමාණය, අනිකා ගේ පියාගේ පරම හිමිකාරීත්වයේ යටතේ තිබුණකි.

    East West ප්‍රොපටීස් පීඑල්සී හි සභාපතිවරයා නහීල් විජේසූරිය මහතා වන අතර එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුගේ පුත් විජිත විජේසූරියයි. දියණිය අනිකා විජේසූරිය විධායක අධ්‍යක්ෂවරියකි. අනෙක් පුත්‍රයා වන වජිර විජේසූරිය සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.

    පියාගේ ආයෝජන සමාගම යටතේ පැවති East West ප්‍රොපටීස් කොටස් හිමිකාරීත්වය අලෙවි කර තිබුණේ ඉහත කී දරුවන් තිදෙනා වෙතටය. මෙහිදී අලෙවි වුණු සම්පූර්ණ කොටස් ප්‍රමාණය 88,345,235 කි. එයින් කොටස් 29,448,412 බැගින් වජිර සහ විජිත විසින් මිල දී ගෙන තිබෙන අතර කොටස් 29,448,411 ක් අනිකා විසින් මිල දී ගෙන තිබේ.

    මෙම කොටස් ගනුදෙනුවත් සමඟම East West ප්‍රොපටීස් පීඑල්සී හි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා බවට විජිත විජේසූරිය පත්ව ඇත්තේ සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 25.83% කට හිමිකම් කියමිනි. එහිදී අනිකා විජේසූරිය හා වජිර විජේසූරිය මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථානවලට පැමිණ ඇත්තේ පිළිවෙලින් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන්  21.55% ක හා 21.30% ක හිමිකාරීත්වයක් තහවුරු කරමිනි. එසේම මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ නහීල් විජේසූරිය පසුවන්නේ සමාගමේ කොටස් ප්‍රග්ධනයෙන් 16.29% ක් දරමිනි.

    අද දින සිදුවූ මෙම ගනුදෙනුව නිසා East West ප්‍රොපටීස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කිසිදු වෙනස්වීමක් සිදුනොවන අතර මෙය සම්බන්ධිත පාර්ශව (related parties) අතර ගනුදෙනුවක් වන බැවින් අනිවාර්ය අර්පණයක් (mandatory offer) ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ද පැන නගින්නේ නැති බව සමාගම දැනුම් දී සිටී.

    කෙසේ වෙතත් රු. 12.40 බැගින් East West ප්‍රොපටීස් පීඑල්සී හි කොටස් 88,345,235 ක් ගනුදෙනු වීම හේතුවෙන් මෙම ගනුදෙනුවෙන් පමණක් රුපියල් බිලියනය ඉක්මවූ පිරිවැටුමක් (රු. 1,095,480,914.00) ඊයේ දින වාර්තා වීම කැපී පෙනෙන සිදුවීමකි.