රාජ්‍ය අංශයට හඳුන්වාදුන් වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම වෙත පිවිසීමට ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් සහ හච් වෙතින් නොමිලේ ඩේටා

    April, 8, 2020

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය අංශය සඳහා හඳුන්වා දුන් වීඩියෝ සම්මන්ත්‍රණ විසඳුම (https://meet.gov.lk ) වෙත පිවිසීමටත්, එහිදී දත්ත සඳහා ගාස්තුවකින් තොරව නොමිලේ භාවිතා කිරීමටත් පහසුකම් ලබාදීමට  ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් සහ හච් සමාගම් ඒකාබද්ධ වී තිබේ.

    කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම පාලනය කිරීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙස නිවෙස් තුලම සිටින ලෙසත් රාජය සහ අනෙකුත් අංශවල රාජකාරි  නිවෙස් තුලම සිට කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් රජය  විසින් දැනුම්දී තිබුනි.

    මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් රාජ්‍ය අංශය සදහා හඳුන්වාදුන් මෙම වීඩියෝ සම්මන්ත්‍රණ විසඳුම තුලින් එකම අවස්ථාවේ විශාල පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සජීව සම්මන්ත්‍රණ පැවැත්විය හැකිවිය.

    මෙහි විශේෂාංග රාශියක් ඇති අතර ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි (LGII) සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්‍රී ලංකා  රජයට පමණක් හිමිකම් ඇති ලංකා රජයේ මේඝය ( LGC) මේ මෘදුකාංග සදහා පහසුකම් සපයා ඇත.

    මේ වනවිට ප්‍රධාන රාජ්‍ය ආයතන 120 ක් මෙහි ප්‍රයෝජන ලබන අතර එම ආයතනවල එදිනෙදා කටයුතු සාකච්ඡා කිරීම් මෙමගින් සිදුකෙරේ. තවද මෙම පහසුකම එය තවදුරටත් දිරිගන්වන්නක්  බව ද  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.