රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ඉවතට

    January, 5, 2017

    නව රාජ්‍ය ණය පනතක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවත්, ඒ අනුව මුදල් අමාත්‍යාංශය තුළ වෙනම ණය කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. 2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති - පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

    “අවුරුදු ගණනාවක සිට මේ දක්වාම මහ බැංකුව, ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සහ අඩු වියදමකින් රජයට අරමුදල් සම්පාදනය කිරීම යන කරුණු අතර ගැටීමක් පවතින නිසා අපගේ අදහසට අනුව මෙය ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. මෙම එකිනෙක ගැටෙන අරමුණු මහ බැංකුවට තම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම නිසා, ණය කළමනාකරණ කාර්යය මහ බැංකු කටයුතුවලින් ඉවත් කිරීම තුළින් ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් අවකාශයක් ලැබෙනු ඇත.“