රාජ්‍ය ව්‍යවසාය 7ක රජයේ කොටස් අයිතිය විකිණීම අනුමතයි

    March, 24, 2023

    ශ්‍රී ලංකා රජය විසින් රට තුළ දැනට පැන නැඟි ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය  නඟාසිටුවීම හා ආර්ථික සංවර්ධනය වේගවත් හා කඩිනම් කිරීමේ අරමුණෙන් ව්‍යුහාත්මක ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. වසර ගණනාවක සිට ශ්‍රි ලංකා ආර්ථිකයට මූල්‍ය වැය බරක් වී ඇති රජය සතු වාණිජ ව්‍යවසාය අංශය මේ යටතේ ප්‍රමුඛත්වය ලබා දී ප්‍රතිව්‍යුහකරණයට හඳුනාගෙන ඇත. වෙළඳපල විකෘතිය ප්‍රකෘති කිරීමට අමතරව, මෙම ආයතනවල ඵලදායීතාව ඉහළ නංවා ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවා ‍ ලබා දීම තුළින් මෙම ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හරහා ඉහළ ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගැනීමට රටට හැකිවනු ඇත.

    මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ, රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුකරණ ඒකකයක් පිහිටුවා ඇත.

    2023 මාර්තු 13 දින එළඹුනු අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, ප්‍රතිපත්තිමය වශයෙන් පහත සඳහන් රාජ්‍ය ව්‍යවසායන් හි රජය සතු කොටස් අයිතිය පැවරීම අනුමත කර ඇත.

    (අ)  ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රි ලංකන් කේටරින් සමාගම

    (ආ)  ශ්‍රි ලංකා ටෙලිකොම් පී.එල්.සී

    (ඇ)  සී/ස ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව

    (ඈ)  කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ - ග්‍රැන්ඩ් හයට්)

    (ඉ)  හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

    (ඊ)  සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

    (උ)  ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් ඉහත සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් කෘතහස්ත (පළපුරුදු) සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇත.

    මෙම ගනුදෙනුකාර උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයිම හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් මෙම ව්‍යවසායන් බැහැර කිරීමට මෙම ඒකකයට සහාය වනු ඇත.

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව විශ්වාසනීය අයුරින් මේ සඳහා සුදුසු ආයෝජකයින් තෝරාගැනීම සඳහා කැමැත්ත පළකිරීමේ නිවේදනය (EOI) හා යෝජනා කැඳවීමේ නිවේදන ක්‍රියාවලිය (RFP) සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කරනු ඇත.