රුපියලේ අවප්‍රමාණය භාණ්ඩ ඉල්ලුමට බලපෑවේ මෙහෙමයි

    October, 16, 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය.

    නිෂ්පාදන හා සේවා කටයුතුවලට අදාළ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කළ පරිදි රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ම ආනයනික අමු ද්‍රව්‍යයන්හි මිල ඉහළ යෑම හේතුවෙන් භාණ්ඩ වල මිල ඉහළ දැමීමට සිදු විය. එම නිසා, භාණ්ඩවල ඉල්ලුම පහත වැටුණු අතර, එය නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීමට හේතු විය.

    කෙ සේ වුව ද, වැඩි වශයෙන් අපනයන නැඹුරුතාවක් සහිත රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ ගියේ ය. තව ද, සේවා නියුක්තිය සහ ගැනුම් තොග ද යම් අඩු වර්ධනයක් පෙන්නුම් කළේ ය.

    මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් මෑතකාලීන ව ආර්ථිකය වර්ධනය වන බව සාමාන්‍යයෙන් පිළිබිඹු වේ. එ නමුත්, මෙම මස තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යම් වැඩිවීමක් පෙන්නුම් කරන ලද්දේ නිෂ්පාදකයින් විසින් රුපියල ස්ථාවර වේ යැ යි බලාපොරොත්තුවෙන් සැපයුම් ලබා ගැනීමට වැඩි කාලයක් ගත කිරීම හේතුවෙනි. එම නිසා, ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි වීමක් එ මඟින් පිළිබිඹු නො වේ.

    සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්, 2018 අගෝස්තු මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි.