රුපියල අවප්‍රමාණය වෙද්දී මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

    May, 22, 2015

    වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.

    මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී ඇත.

    මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබෙන්නේ තිබෙන තත්ත්වය අනුව උද්ධමනය ඉදිරියටත් අඩු මට්ටමක තිබෙනු ඇති බවයි.

    පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන 41.4 ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ.

    මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී සියයට 06 ක් සහ සියයට 7.5 ක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ.
    විශ්ලේෂකයින් සඳහන් කරන්නේ වැඩිවන අයවැය හිඟය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වීම හමුවේ අඩු පොලී තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බවත් මෙහිදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවන බවයි.

    මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.