රුසියාවේ ආර්ථික අර්බුදයෙන් පහත රට තේ කර්මාන්තය අනතුරේ

    December, 24, 2014

    රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.

    පසුගිය මාස හය තුළදී පමණක් රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පමණ අවප්‍රමාණය වූ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ රුසියාවේ ණය වර්ගීකරණය ඉදිරියේදී පහළ දැමීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි.

    ශ්‍රී ලංකාවෙන් වසරකට තේ මෙට්‍රික් ටොන් මිලියන 300 ක් පමණ පිටරට යවන අතර මින් මෙට්‍රික් ටොන් මිලියන 200 ක් පමණම පහත රට තේ වේ.
    පහත රට තේ වලින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 40 ක් පමණ මිලදී ගන්නේ රුසියාව විසිනි. ඒ අනුව, පහත රට තේ මිලදී ගන්නා ප්‍රමුඛම රට වන්නේ රුසියාවයි.

    රුසියාවේ ආර්ථික අර්බුදය නිසා එරට විසින් මිලදී ගන්නා ශ්‍රී ලංකා තේ ප්‍රමාණය අඩුවී තිබෙන අතර මේ නිසා රුපියල් 85 කට පමණ තිබූ පහත රට අමු තේ දළු කිලෝවක මිල මේ වනවිට රුපියල් 70 ක් වැනි මිලක් දක්වා පහළ ගොස් තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් කර්මාන්ත කරුවන් පැවසුවේ මීට සති කිහිපයකට පෙර තේ විකුණා ගැනීමට අපහසු තත්ත්වයක් තිබුණද මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් තේ අලෙවිවන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.