රු. ට්‍රිලියන 1.08ක වියදමක් යන ව්‍යාපෘති 18ක තොරතුරු ජනතාවට නැහැ

    June, 24, 2022

    ජනතා මුදලින් ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු, ජනතාව වෙත කුමන ප‍්‍රමාණයන්වලින් නිදහස් කර ඇතිදැයි බලන වේදිකාවක් නිර්මාණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ.

    ‘යටිතල පහසුකම් විපරම’ යන මෙම වේදිකාව යටතේ 2019 සිට 2021 දක්වා කාලයේ රජයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 60ක තොරතුරු ජනතාව වෙත නිදහස් කර ඇති ප‍්‍රමාණයන් විමසුමට ලක්කර ඇත.

    මෙම ව්‍යාපෘති 60 සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් ට්‍රිලියන 1.08කි.

    යටිතල පහසුකම් විමසුම වේදිකාව යටතේ, මෙම ව්‍යාපෘතිවලට අදාළව,
    1. ව්‍යාපෘතියේ විස්තර
    2. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පාදක කරගත් කරුණු සහ ප‍්‍රතිලාභීන්
    3. අයවැය සහ මූල්‍ය තොරතුරු
    4. අනුමැතීන් සහ නිෂ්කාශන
    5. ප‍්‍රසම්පාදන සහ කොන්ත‍්‍රාත්තු
    යන විස්තර කෙතරම් දුරකට ජනතාවට පොදුවේ, ප‍්‍රගාමීව, මාර්ගගතව නිදහස් කර ඇතිදැයි විමසුමට ලක්කර තිබෙන අතර, එහිදී අනාවරණයව ඇත්තේ මෙම ව්‍යාපෘති 60ට අදාළව ප‍්‍රගාමීව, මාර්ගගතව මෙම තොරතුරු නිකුත් කර තිබෙන ප‍්‍රමාණය, එසේ නිකුත් කළ යුතුව තිබෙන මුළු තොරතුරු ප‍්‍රමාණයෙන් 18%ක් බවය.

    තොරතුරු දැනගැනීමේ පණත යටතේ, දේශීය ව්‍යාපෘතියක් නම් එහි වටිනාකම රුපියල් මිලියන 500ට වැඩි නම්, විදේශීය ව්‍යාපෘතියක් නම් එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් ලක්ෂයක් සහ ඊට වැඩි නම්, එම ව්‍යාපෘතින්ට අදාළව ලබාගත හැකි සියලූම තොරතුරු, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අදාළ අමාත්‍යංශයේ වෙබ් අඩවිය හරහා ප‍්‍රගාමීව ප‍්‍රසිද්ධ කිරීමට විෂය භාර අමාත්‍යවරයා කටයුතු කළ යුතු බව මෙහිදී සඳහන් කළ යුතුය.

    තවද, තොරතුරු දැනගැනීමේ පණත ප‍්‍රකාරව මෙම තොරතුරු සිංහල, දෙමළ සහ හැකිනම් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ අමාත්‍යංශවල වෙබ් අඩවිවල පළකර තිබිය යුතුය. නමුත්, වෙරිටේ රිසර්ච් සිදුකළ විමසුමේ දී, අනාවරණයව තිබෙන ආකාරයට එසේ පළකර තිබෙන්නේ, ඉහත අනාවරණය කර තිබෙන තොරතුරුවලිනුත් 4%ක තොරතුරු ප‍්‍රමාණයක් පමණි.

    ජනතා මුදලින්, ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතිවල තොරතුරු, ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකියාව තිබීම සහ, එම තොරතුරු වෙනම ඉල්ලා සිටීමට සිදුවීමකින් තොරව ප‍්‍රගාමීව නිදහස් කරන බව සහතික කිරීම, මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති විනිවිදභාවයක් සහ වගවීමක් ඇතිව ක්‍රියාත්මක වන බව සහතික කිරීම උදෙසා සිදුකළ යුතු අනිවාර්යය තහවුරු කිරීම් වේ.

    යටිතල පහසුකම් විපරම වේදිකාවට ඔබට පහත සබැඳියෙන් පිවිසීමට හැකිය.
    https://bit.ly/3NFQQ8w